ඔබේ පෙම්වතා / පෙම්වතියගේ හැසිරීමත් මේ වගේ නම් අදම සම්බන්ධය නතර කරන්න

2075

මේ ලෝකේ ඉන්නවා මිනිස්සු ප්‍රධාන වර්ග දෙකක්. එක පිරිසකගේ වැඩේම කාලයක් තියා ගන්න පුළුවන් හොඳ සම්බන්ධතා නිකරුණේ නවත්තලා දාන එක. අනිත් වර්ගය තමයි වහාම ඉවර කල යුතු සම්බන්ධතාවන් දිගටම තියා ගෙන විඳව විඳවා ඉන්න කට්ටිය. නිවැරදි වෙලාවට සම්බන්ධයක් නවත්තන්නත්, හොඳ සම්බන්ධකම් නොකඩවා පවත්වා ගෙන යන්නටත් හැකි පිරිස ඉතා අඩුයි.

කොහොම උනත් කාලය ගත වෙනවාත් එක්කම අපි බොහෝ දෙනාට පුළුවන් වෙනවා කාලයක් තියා ගෙන ඉන්න කිසිම තේරුමක් නැති සම්බන්ධයකයි, ප්‍රයෝජනවත් හොඳ සම්බන්ධයකයි වෙනස තේරුම් ගන්න. වෙනස් වෙන්න බයේ හැම දාම කිසිම සතුටක් නැතිව ඉන්න එකෙයි, තමන් කැමති කෙනෙක් එක්ක ගෙවන ජීවිතයෙයි පැහැදිලි වෙනසක් තියෙනවා. (කොච්චර දේවල් වුනත් තේරෙන්නේ නැති අයත් නැතුවම නෙවෙයි ඉතින්.)

අපි ගොඩක් දෙනා ආදරය නැතිනම් ප්‍රේමය කියන දේ දකින්නේ බොහොම අතාත්වික ස්වභාවයකින්. මිනිසුන් අතර තියෙන සම්බන්ධතා වල ඇත්ත තත්වය අපි හිතා ගෙන ඉන්න විදිහට වඩා බොහෝ සෙයින් වෙනස්. කොහොම වුනත් අපි ගොඩක් දෙනා සම්බන්ධයක් පටන් ගත්තාට පස්සේ ඇත්ත තත්වය පෙනුනත් ඒක පිලි අරගෙන වෙනස් වෙන්න ටිකක් විතර මැලි වෙනවා. අපිට පෙනෙන්නට තියෙන දේවල් නොසලකා ඉන්නත්, ඒවා ඉස්සරහට වෙනස් වේවි කියලත් හිතන්න තමයි අපි පෙළඹෙන්නේ.

අපි ගොඩක් වෙලාවට ආදරයේදී පැහැදිලිවම දකින්නට ලැබෙන ඉඟි පවා අතපසු කරනවා. හිත ගිය තැන මාලිගාව කියන්නා වගේ අපි ආදරය කරන කෙනාව මුලින් මුලින් අපි දකින්නේ කිසිම වරදක් නැති දෙවි කෙනෙක් හෝ දේවතාවියක් විදිහටයි. මේ නිසා ප්‍රශ්නයක් ඇති වුනාම ඇත්ත තත්වය තේරුම් ගැනීම වෙනුවට අපි බොහෝ විට කරන්නේ ඒවා ගණන් නොගෙන ඉන්න එකයි. අපි මහා බලාපොරොත්තු ගොඩක් පොදි බැඳ ගෙන පටන් ගත්තු ආදරේ අහක දාන්න අපි බොහොම බයයි. ඒත් සමහර වෙලාවල් වලට එහෙම නොකරම බැරි අවස්ථාවකුත් එනවා.

ඉතින් මෙන්න ඔබ ඉතා නිවැරදිව තේරුම් ගත යුතු හැසිරීම් කිහිපයක්. ඔබේ පෙම්වතා හෝ පෙම්වතියත් මේ විදිහට හැසිරෙනවා නම් දැන්ම කතා කරලා සම්බන්ධය නවත්තලා දාන එක ඇඟට ගුණයි. පස්සේ කාලෙක කරන්න තියා ගෙන ඉඳලා නැති ප්‍රශ්න ඇති කර ගන්නවාට වඩා මේ වෙලාවේ හරි තීරණය ගන්න එක ඉතා වැදගත්.

  1. ඔහු හෝ ඇය ඔබට ගරුත්වයක් දක්වන්නේ නැහැ නම්.

පෞද්ගලිකව මම නම් මට (හෝ වෙනත් ඕනෑම කෙනෙකුට) ගරුත්වයක් දක්වන්නට තරම්වත් හැදියාවක් ලබලා නැති කෙනෙක් සමග කිසිදු ගනුදෙනුවක් තියා ගන්නට කැමති නෑ. ඔබට හෝ ඔබේ ශරීරයට කිසිදු ගරුත්වයක් දක්වන්නේ නැති කෙනෙක් සමග සම්බන්ධයක් තියා ගන්නේ මොනවටද ඇත්තටම? මෙතැනදී මම අදහස් කරේ ඔබේ මතයන්ට ගරු නොකර තනිකරම තමන්ට අවශ්‍ය දේම කර ගන්නට හදන එක ගැනයි.

මෙතනදී මාව වරදවා වටහා ගන්නට එපා. සමහර වෙලාවට තමන්ගේ අදහස නිවැරදි නම් ඒ වෙනුවෙන් පෙනී සිටීම ඇල් මැරුණු සම්බන්ධතාවකට අලුත් බවක් ගෙන දෙන්න ඉඩ තියෙනවා. ඒත් ඒ වගේ දෙයක් සිදු කිරීමේදී මූලික කාරණය විය යුත්තේ ආදරයයි. පලි ගැනීම සඳහා හෝ තමන්ගේ ප්‍රතිරූපය ආරක්ෂා කර ගැනීම සඳහා එවන් දේවල් කිරීම කිසිසේත් අනුමත කරන්නට බැහැ.

මම දැකලා තියෙනවා සමහර මිනිසුන් ඉතාම පීඩාකාරී, නොහොබිනා සම්බන්ධයන් පවත්වා ගෙන යන විදිහ. එයින් ඔවුන් දෙදෙනාටම ලැබෙන කිසිම දෙයක් නැහැ, බොහෝ විට ඔවුන් දෙදෙනාම සිටින්නේ විශාල කලකිරීමකින්. ටිකක් ඇස් ඇරලා බැලුවොත් ඔබ අඳුරන අය පවා මේ වගේ සම්බන්ධතා පවත්වා ගෙන යන බව දකින්නට ලැබේවි. මේ හැම සම්බන්ධයකම පොදු ලක්ෂණය තමයි එක් කෙනෙක් අනිකාට ගරු නොකිරීම. මම මෙතැනදී කියන්නේ අනිත් කෙනාට වැඳ ගෙන සිටීම හෝ කියන හැම දේම කිරීම නෙවෙයි. අපි කවුරුත් අපේ පෙම්වතාට / පෙම්වතියට අනවශ්‍ය දෙයක් කියා හෝ සිදු කර තිබෙන්නට පුළුවන්. නමුත් දිගින් දිගටම එවැනි දේ සිදු වෙනවා කියන්නේ හොඳ ලක්ෂණයක් නෙවෙයි. නිතරම ඔබේ යම් අඩු පාඩුවකට පහර ගසනවා නම්, ඔබට තිබෙන ගැටළු විවෘතව නොදැක නිතරම ඔබට  චෝදනා කරනවා නම් ඔහුගෙන් හෝ ඇයගෙන් වහාම ඉවත් වීම සුදුසුයි.

  1. ඔබට දරුණු වංචාවක් සිදු කරා නම්.

බොහෝ වෙලාවල් වලදී මෙයින් අදහස් වෙන්නේ ඔබ හැර වෙනත් අයෙක් එක්ක සම්බන්ධයක් පවත්වා ගෙන යාම. ඔබ අයත් පරිසරය, සංස්කෘතික වටපිටාව හා ඔබේ අදහස් අනුව මෙය වෙනස් වෙන්නට පුළුවන්. විවාහ නොවී ලිංගික සම්බන්ධකම් පවත්වන යුවළකට නම් මෙයින් අදහස් වෙන්නේ වෙනත් කෙනෙක් සමග ලිංගික සම්බන්ධතා පැවැත්වීම වෙන්නට පුළුවන්. ඒ මට්ටමට නොයා ආදරේ කරන යුවළකට එය වෙනත් අයෙකු සමග අනවශ්‍ය හාදකමක් පවත්වා ගැනීම වෙන්නට පුළුවන්. තමන් හිතන පතන විදිහ අනුව මේක වෙනස් වුනත් පැහැදිලිවම ඕනෑම කෙනෙකුට මෙන්න මේ දේවල් කරන්නට සුදුසු නැහැ කියන සීමාවක් තියෙනවානේ. (මේක අඳුනා ගන්න හොඳ ක්‍රමයක් තමයි ඔබට කවුරු කොහොම කිව්වත් සමාව දෙන්න බැරි විදිහේ යමක් අනික් කෙනා කලාද කියා සිතා බැලීමයි. මෙහිදී වැදගත් වෙන්නේ ඔබේ හැඟීමයි. අනෙක් කෙනා එයට ගරු කරන්නේ නැත්නම් නැවත කලින් කොටස කියවා තීරණයක් ගන්න.)

මේ විදිහේ වංචාවක් කිරීම යනු කෙනෙකුට තමන්ගේ පෙම්වතාට / පෙම්වතියට කරන්න පුළුවන් නරකම දේවල් වලින් එකක්. එයින් අනිත් කෙනාගේ හදවත බිඳෙනවා වගේම ඔබ කෙරෙහි තැබූ විශ්වාසය මුළුමනින්ම පහ වී යනවා. එය ඔවුන්ට ලබා දෙන දරුණුතම වේදනාවයි. ඔවුන්ට ඔබව වටින්නේ නැහැ යන්න තමයි එහි පැහැදිලිම අර්ථය වෙන්නේ.

මේ වගේ දෙයක් සිද්ධ වුනාම සමහර විට අපි ඒ දේවල් අමතක කරලා එහෙම නැත්නම් ඒකට සමාව දීලා සම්බන්ධය නොනවත්වා පවත්වා ගෙන යන්නට උත්සාහ ගන්නවා වෙන්නට පුළුවන්. කොහොම වුනත් මේ වගේ දෙයක් වෙලත් ඉදිරියට ඒ කෙනා එක්කම ඉන්නට තීරණය කරන එක බරපතළ විදිහට සිතා බලන්නට අවශ්‍යයි. 90%කම ප්‍රතිඵලය තමයි එක්කෝ ඔවුන් ඔබව හෑල්ලුවට ලක් කරමින් දිගින් දිගටම එවැනි ක්‍රියා කිරීම, නැත්නම් කිසිම දවසක ඔබට කලින් වගේ ඇත්තටම ආදරය කරන්නට බැරිව යාම. ගොඩක් වෙලාවට සුදුසුම දේ තමයි සම්බන්ධය නතර කරලා දාන එක.

ඒ වගේ දෙයක් වෙලත් ඔබ දිගටම සම්බන්ධය පවත්වා ගන්න තීරණය කරනවා නම් ඉදිරියේදී එවැනි දෙයක් නැවත සිදු වීමට ඉඩ ඇති බව හොඳින් හිතේ තබා ගෙන කටයුතු කරන්න. ගොඩක් වෙලාවට ඔබ ගත්ත තීරණය පසුතැවිල්ලට ලක් වන්නට සිදු වෙන එකක් වේවි.

  1. කොයි තරම් කාලයක් ගත වුනත් අනෙකා ගැන සැබෑ හැඟීමක් දැනෙන්නේ නැතිනම්.

මෙතැනදී හරියටම මේ තරම් කාලයක් ඉඳලා බලන්න ඕනේ කියලා කාටවත් කියන්නට බැහැ. ඇති තරම් කාලයක් ගත වුනා කියන දේ දැනෙන්නට ඕනෑ ඔබටමයි. මෙතැනදී ටිකක් හිතලා බැලුවොත් තව කාලයක් ගියා කියලා වෙනසක් වෙන්න ඉඩක් තියෙනවද නැද්ද කියන එක ගොඩක් වෙලාවට ඔබටම තේරුම් යාවි.

විශේෂයෙන්ම තමන්ගේ මුල් ආදරයේදී ගොඩක් දෙනා ඉතා ඉක්මනින් ආදරයෙන් බැඳෙනවා. ඒත් වරක් හෝ කිහිප වරක් ආදරය කරලා හිත රිදවා ගත්තු පිරිස් ඒ වගේ ඉක්මනින්ම විශ්වාසය ගොඩ නගා ගන්න පෙළඹෙන්නේ නැහැ. ඔවුන් සැබෑවටම ආදරය කරන්න ටික කාලයක් ගන්නවා. අත් දැකීම් එක්ක පරිණත වෙන එකයි ඒකට හේතුව.

ඒ කොහොම වුනත් සාර්ථක සම්බන්ධයක් පවත්වා ගෙන යන්න නම් හැඟීමකින් යුතුව ආදරය කරන එක අවශ්‍යයි. යම් කාලයක් ගත වුනත් එය අනිවාර්යයෙන්ම දෙදෙනාටම දෙදෙනා කෙරෙහි දැනෙන්නට අවශ්‍යයි. එහෙම වෙන්නේ නැත්නම් ඇත්තටම ඒ සම්බන්ධය දෙන්නටම කිසිම වැඩකට නැති එකක් වෙන එක ස්ථිරයි. බොහෝ විට මේ වගේ සම්බන්ධයක් හරි වෙලාවට අවසන් නොකරාම වෙන්නේ එක් කෙනෙක් හෝ වෙනත් ආදරයක් සොයා යන එකයි. ඒ වගේ තත්වයකට පත් වෙලා අනවශ්‍ය හිත රිදවීම් වගේම තමන්ගේ ගරුත්වය පවා නැති කර ගන්නවාට වඩා ඉක්මන් තීරණයක් ගන්න එක වැදගත්.

ඉතින් ආදරේ දැනෙන්නට යන කාලය මේකයි කියලා කියන්නට නම් බෑ, ඒත් මාස, අවුරුදු ගානක් ගිහිනුත් කිසිම හැඟීමක් නැත්නම් වෙනත් අතක් බලා ගන්න කියන එක තමයි දෙන්න තියෙන එකම සහ හොඳම උපදෙස.

  1. කොයි තරම් කාලයක් ගියත් කිසිම අනාගතයක් සුබවාදීව දකින්නට බැරි නම්.

දෙන්නෙක් ආදරය කරන්නට ගත්තම ඔවුන් එකිනෙකා ආශ්‍රය කරන ප්‍රමාණය අනුව ඉක්මනින්ම හෝ යම් කාලයක් ගත වී අනෙක් කෙනා ගැන අවබෝධයක් ලබා ගන්නවා. එහෙම වුනාම තමන්ට පුළුවන් ඔහු හෝ ඇය සමග අනාගතය කොයි වගේ වේවිද කියන දේ ගැන සිතන්න. අපි කවුරුත් ජීවිතයේ ලබා ගන්නට කැමති දේවල් සහ අපිට අවශ්‍යයි කියලා හිතෙන දේවල් තියෙනවා. ඉතින් දැනට ඔබ සමග සම්බන්ධයක් තියා ගෙන ඉන්න කෙනා සමග මෙයින් කොයි තරම් ප්‍රමාණයක් ඉටු කර ගන්න අවස්ථාව තියෙනවද, ඒ වගේම ඒ දේවල් ලබා ගන්න ඔබ කල යුතු කැපවීම් මොනවද කියන දේ පරිස්සමින් සිතා බලන එක අවශ්‍යයි.

අපි හිතන පතන හැම දේම අපිට ලබා ගන්නට බැහැ. ඒ වගේම වැඩිම ප්‍රමාණයක් ඉටු කරන කෙනා සමග යන්න කියලා සරල සමීකරණ දක්වන්නත් බෑ මෙතැනදී. නමුත් ඔබ කරන කැප වීම් වල වටිනා කම ලැබේවිද, ඔබට ඒ කෙනා සමග සතුටින් සිටින්නට අවස්ථාව ලැබේවිද වගේම ඒ ජීවිතයට ඔබ කෙතරම් සුදානම්ද කියන දේවලුත් හිතලා බලන්නට අවශ්‍යයි. විශේෂයෙන්ම දැනටමත් සම්බන්ධයට බොහෝ කල් නම්, ඔබට සතුටින් ඉන්නට ලැබෙන විදිහේ කිසිම වෙනසක් පෙනෙන මානයක නැති නම්, විශේෂයෙන්ම තිබුණු දේවලුත් නරක අතට හැරෙනවා නම් මේ තීරණයක් ගන්නට සුදුසු කාලයයි. දැන්ම තීරණයක් නොගැනීම සමහර විට තත්වය තවත් නරක අතට හැරෙන්නට වුණත් හේතු වෙන්න පුළුවන්. කාලය ගත වීමත් එක්ක සිදු වෙන දේවල් නිසා තීරණයක් ගන්න එකත් අපහසු වෙන්න ඉඩ තියෙනවා.

  1. අනෙක් කෙනාගෙන් ඵලදායක සම්බන්ධයක් පවත්වා ගෙන යන්න උදව්වක් නැත්නම්.

අපිට තව කෙනෙක් කොයි තරම් හොඳට තේරුම් ගන්න පුළුවන් කියල හිතුවත් සමහර විදිහට අපි පුදුම කරවන විදිහේ හැසිරීම් ඔවුන්ගෙන් දකින්නට පුළුවන් .”ඔයා ඔහොම දෙයක් කරයි කියල මම කවදාවත් හිතුවේ නැහැ” කියන ජනප්‍රිය වාක්‍යයට හේතුවත් ඕකමයි. කොච්චර හොඳට තේරුම් කර ගත්තු කෙනෙක් වුනත් නොහිතන දෙයක් කරන්නට ඉඩක් තියෙනවා. ඉස්සර කාලේ තිබුණු සරල සමාජයත් එක්ක කෙනෙක්ගේ ඇත්ත හැඟීම තේරුම් ගන්න යම් තරමකට පහසු වෙලා තිබුණා. නමුත් දැන් ඒ තත්වය නැහැ මේ සංකීර්ණ සමාජ ක්‍රමය තුලදී. බොහෝ වෙලාවල් වල අපිට සිද්ධ වෙනවා රැවටිලි කාරයන්ට අහු වෙන්න. ප්‍රේම සම්බන්ධයන් වුනත් එහෙමයි.

ඔබත් සමග ඔබ කැමති විදිහේ සම්බන්ධයක් තියා ගන්නට බැරි එකට අනිත් කෙනා විවිධ හේතු දක්වන්න පුළුවන්. ඒ මොනවා වුනත් ඔබට අවශ්‍ය දේවල් ලබා දෙන්නට එයා උත්සාහයක්වත් ගන්නේ නැත්නම් එතන බරපතළ ප්‍රශ්නයක් තියෙනවා. එක්කෝ එයාට ඔබේ කිසිම වටිනා කමක් දැනෙන්නේ නැහැ, නැතිනම් එයා ඔබව ආශ්‍රය කරන්නේ ඇත්තටම ආදරේ නිසා නොවෙන්නත් පුළුවන්. මේ නිසා ඔබ ගැන සැලකිල්ලක් නැත්නම්, විශේෂයෙන්ම ඉස්සර කරපු දේවල් පවා දැන් කරන එක මග හරිනවා නම් ඒ ගැන හොඳට කතා බහ කරලා තව දුරටත් සම්බන්ධය පවත්වා ගෙන යනවාද කියන එක ගැන දැන්ම තීරණයක් ගන්න එක තමයි මොළේ ඇති වැඩේ.

  1. ඔබට ඵලදායක සම්බන්ධයක් පවත්වා ගෙන යන්නට හැඟීමක් නැත්නම්.

මේ ලෝකේ හරියට පවත්වා ගෙන යන සම්බන්ධතාවක් තරම් වැදගත් දෙයක් තවත් නැහැ. විවිධ විදිහේ මිනිසුන් පිරුණු ලෝකයේ සමහර සමාජයන් හා රටවල් සාර්ථක වෙන්නත්, සමහර රටවල් අසාර්ථක හා ගැටුම් පිරුණු ඒවා වෙන්නත් ප්‍රධානතම හේතුව පුද්ගල සම්බන්ධතාවන් පවත්වා ගෙන යාමේ ඇති හැකියාව හෝ නොහැකියාව තමයි. ඒ වගේම සමාජයන් වල නිවැරදි පැවැත්මටත් දායක වෙන්නේ ප්‍රධාන වශයෙන් එහි ජිවත් වන පුද්ගලයන්ගේ පෞද්ගලික සම්බන්ධතා වල තත්වයයි. මේ නිසා ඔබ තවත් කෙනෙක් සමග පවත්වන සම්බන්ධතාව හැඟීමක් ඇති එකක් නෙවෙයි නම් එයින් සිද්ධ වෙන්නේ නිකරුණේ ඔබ දෙදෙනාටම සතුටකින් තොරව සිටින්නට සිදු වෙන එක විතරයි.

විශේෂයෙන්ම ඔබ අවශ්‍ය යයි හිතන දේවල් බාහිර කෙනෙකු තුල තියෙනවා නම්, ඔබ දැනට පවතින සම්බන්ධය නිසා ලැබෙන්නට තියන අවස්ථාවක් මග හරිනවා නම් වඩාත්ම සුදුසු දේ මේ වෙලාවේ සිතා බලා තීරණයක් ගන්න එකකයි. ඔබ නිසා තවත් කෙනෙකු අසතුටෙන් ඉන්නවා නම්, ඒ වගේම ඔබට සතුටින් ඉන්නට අවස්ථාව තියෙද්දී බයේ දුක් විඳිනවා නම් අමාරුවෙන් හරි ඒ සම්බන්ධය අහවර කරන්න. මේ වෙලාවේ ඒ දේ නොකරන එක පස්සේ ලොකු පසුතැවිල්ලකට හේතු වෙන්න පුළුවන්. කවුරු කොහොම කිව්වත් ඔබ ඇත්තටම කැමති කෙනෙක් එක්ක ගෙවන ජීවිතය තමයි වඩාත් සුන්දර වෙන්නේ.

ඉතින් පුළුවන් කමක් තියෙනවා නම් අනිත් අය ගැන වගේම තමන්ගේ සතුට ගැනත් හිතන්නට පුරුදු වෙන්න. අපි කාටත් ජිවත් වෙන්න තියෙන්නේ ටික කාලයයි. ඒ ටික කාලේ අපි කැමති දේවල් ලබා ගන්න යන්න අපි කාටත් ශක්තිය තියෙන්න අවශ්‍යයි. මේ නිසා ඔබත් ඔබේ ජීවිතය ගැන සිතා ඔබට සුදුසු තීරණ ගන්නත්, ඔබට නොගැළපෙන අයගෙන් ඉවත් වෙන්නත් පසුබට වෙන්න එපා.

මේ ලිපිය කියවීමෙන් ඔබේ ජීවිතයට වටිනා කරුණු ගොඩක් එකතු වෙන්නට ඇති කියල හිතනවා. විශේෂයෙන්ම ඔබ මේ වගේ කාරණාවක් ගැන හරි තීරණයකට එළඹෙන්න බැරිව හිත හිතා ඉන්න කෙනෙක් නම් මේ ලිපියෙන් යම් පිටිවහලක් ලැබෙන්න ඇති. ඒ වගේම මේ වගේ ලිපියක් වැදගත් වෙන යාළුවෝ එහෙමත් ඔබට ඕන තරම් ඇතිනේ. ඒ අයටත් මේ ලිපිය share කරලා ඔවුන්වත් දැනුවත් කරන්න. තමන්ට හොඳම තීරණය ගන්න, කවදාවත් පසුබට වෙන්න එපා.

Leave a comment

Comments

Close
Close
Loading...