නිවසට සෞභාග්‍ය උදාකරගන්න හරිම විදියට කිරි උතුරවන්නේ මෙහෙමයි..!

සිංහල හිංදු අලුත් අවුරුද්ද උදාවෙන්න තවත් ඉතිරිවෙලා තියෙන්නෙ දවසකටත් වඩා අඩු කාලයක්. අලුත් අවුරුද්ද උදා වෙද්දි කිරි ඉතිරවීම අතීතයේ සිටම පැවත එන සම්ප්‍රධායික චාරිත්‍රයක්. නමුත් වර්තමානයේ මෙම චාරිත්‍රය සම්බන්ධයෙන් විවිධ අය විවිධ මත පළ කරන ආකාරයක් දැකගන්න පුළුවන්. විශේෂයෙන් කිරි ඉතිරවීමට යොදා ගන්නා කිරි වර්ගය සම්බන්ධයෙන් අතීතයේ පටන් පැවත එන මත සමහර පුද්ගලයන් බැහැර කරමින් සිටින බවක් පෙනෙන්නට තිබෙනවා.

ඒ අනුව අතීතයේ පටන් කිරි ඉතිරවීමට යොදාගත් එළකිරි ප්‍රතික්ෂේප කරමින් ‍පොල්කිරි යොදා එම කාර්යය සිදු කිරීම සුබදායක යැයි පිළිගන්නා පිරිසක්ද අප සමාජයේ ඉන්නවා. කෙසේ නමුත් පැරණි සිරිත්වලට අනුව මේ සඳහා සුදුසුම එළකිරි බව පුරාතන සෘෂිවරුන් පවා අනුමත කර ඇති බව ඉතිහාසයේ සඳහන් වෙනවා.

සුබ නැකතකට සුබ දිශාවක් බලා එළකිරි ඉතිරවීමෙන් වා පිත් සෙම් සහ ත්‍රිදෝෂයන්ගෙන් හට ගන්නා අට අනූවක් ව්‍යාධිද දෙසියතිහක් අන්තරායන්ද යක්ෂ, ප්‍රේත, පිසාච හා වස්දොස් දුරුකරවීමටත් අනවින පලවා හැරීමටත් මහඟු බලයක් ලැබෙන බව පිළිගන්නවා. එසේම ලෞකික සෞභාග්‍යයේ සහ සමෘද්ධියේ සංකේතයක් බව වෛදික ධර්ම ශාස්ත්‍ර ග්‍රන්ථවල පැහැදිලිවම සඳහන් වෙන කරුණක්.

එය එසේ වුවද පහතරට ධීවර ජනතාවත් තෙලිඟු (අහිකුණ්ඨික) ගෝත්‍රිකයන් හා ආදිවාසීන් මංගල සම්මත කටයුතු වලදී එළකිරි වෙනුවට ‍පොල්කිරි යොදා ගන්නා අවස්ථා තිබෙනවා.මේ සඳහා ප්‍රධානතම හේතු සාධකය වී ඇත්තේ ඔවුනට ගවයන් ඇති කිරීමට තිබූ අපහසුතා නිසා එළකිරි සොයා ගැනීම දුෂ්කර වූ නිසා බවයි පැවසෙන්නේ.

සුබ කටයුතු සඳහා කිරි ඉතිරවීමට එළකිරි යොදා නොගැනීම සම්බන්ධයෙන් මත පළකරන්නෝ එළකිරිවල ‍ලේ මිශ්‍රිත යැයි මිථ්‍යා මතයක් ගෙනහැර පානවා. එහෙත් එය කිසිසේත් පිළිගත හැකි මතයක් නොවේ. එළකිරිවල පවතින විෂබිජනාශක ගුණයන් අදෘෂමාන දෝෂනාශක බලයන් හේතුවෙන් සියලු දොස් දුරුවන බවත් ලක්ෂ්මි දේවියගේ බැල්ම ලැබි සෞභාග්‍ය උදාවන බවත් අතීතයේ සිටම පැවත ආ පිළිගැනීමයි.

විෂ්ණු පුරාණය නම් පැරණි භාරතීය ග්‍රන්ථයේ සඳහන් වන විෂ්ණු දෙවිඳුන් විසින් මන්දරගිරි නම් පර්වතයෙන් කිරි මුහුද කැළඹීමේ දී රත්නයන් දාහතරක් මතුවෙයි. ඉන් ප්‍රමුඛතම රත්නය වනුයේ ලෞකික සශ්‍රීකත්වයේ, සෞභාග්‍යයේ සංකේතය වන ලක්ෂ්මියයි. ඒ අනුව මෙම කිරි ඉතිරවීම තුළ විෂ්ණු විසින් කිරිමුහුද කැළඹවීමේ සිද්ධිය ද සංකේතය වන බවද පැවසෙනවා.

ඒ වගේ බොහෝදෙනා කිරි ඉතිරවීමේ කටයුත්තට එතරම් සැළකිල්ලක් නොදක්වමින් සිදුකරන අකාරයක් දැකගන්නට ලැබෙනවා. කෙසේ නමුත් කිරි ඉතිරවීමෙන් සැබෑ ප්‍රයෝජන ගත යුතුනම් එය නිවැරදි ආකාරයටම සිදු කල යුතු වනවා.

එළකිරි ඉතිරවීමට නැවුම් එළකිරි සොයාගත නොහැකි විටදී වෙළෙඳපළෙන් මිලදී ගත හැකි කල්කිරි යොදා ගැනීමේ හැකියාවක්ද පවතිනවා. එම කිරි හත් වරක් පෙරා නැවුම් මැටි මුට්ටියකට දැමීම වඩා සුදුසු ක්‍රමයයි. ඉතිරවීමට පෙර කිරි මුට්ටියට අමුකහ පෙත්තක් හෝ දෙකක් දැමීමද සාමාන්‍ය සිරිතක් වනවා.

කිරි උතුරුවන ළිප බැඳීම සඳහා ගඩොල් කැට තුනක් යොදා ගතයුතු අතර කිසිවිටකත් කළු ගල්, සිමෙන්ති ගල් හෝ කෘතීම ගල් භාවිතය නුසුදුසු වනවා. වර්තමානයේ සමහරුන් යොදා ගන්නා ආකාරයට ගෑස් උඳුන් හෝ විදුලි උඳුන්ද ඒ සඳහා සුදුසු වන්නේ නැහැ. වර්තමානයේදී අපට සොයා ගැනීමට අපහසු වූවත් අතීතයේදී කිරි ඉතිරවීමේදී ඒ සඳහා රත් හඳුන්, සුදු හඳුන්, දේවදාර, අගිල්, සුවඳ කොට්ටං, පැඟිරි වැනි දර වර්ග යොදාගෙන ඇති බව සඳහන්.

එසේම කිරි මුට්ටිය ළිප තබා ගිනි ඇවිළවීමට කිසිවිට කටින් පිඹීම නොකළ යුතු අතර පවන් සැලීමෙන් ගිනි අවුලුවාලීම කල යුතු වනවා. කිරි ඉතිරී යාමට පෙර ළිප නිවී යාම නුසුදුසු බැවින් කිරි ඉතිරෙන තෙක් ගින්දර පවත්වා ගැනීමටද කටයුතු කලයුතු වනවා. ඒ සඳහා සඳහා කපුරු පෙති හෝ භූමිතෙල්වල පෙඟවූ දර යොදා ගනිමින් ගින්න දැල්වා ගන්න පුළුවන්.

කිරි උතුරුවන කාර්යයේ නියැළෙන පුද්ගලයා ගැනද මෙහිදී අවධානය යොමුවනවා. ඔහු සංවර සුදු වස්ත්‍රයකින් සැරසීම වඩා සුදුසු බවයි සඳහන් වන්නේ.මේ සඳහා එක්වන පිරිස කිළිකුණුවලින් වැළකී සිටිය යුතු බවද බොහෝ දෙනෙක් නොදන්නා රහසක්.

Leave a comment

Comments