fbpx

පිරිත් නූලේ බලය සිරුරට ලැබෙන්නේ මෙහෙමයි..!

පිරිත් සජ්ඣායනාවකින් පසු අතේ බැඳගන්නා පිරිත් නූල මහානුභාව සම්පන්න ආරක්‍ෂාවක් බවට පත්වේ. සියළු සුබ කටයුතුවලට යාමට පෙර පිරිත් නූලක් බැඳ ගැනීමෙන් තෙරුවන් ආශිර්වාදය ඊට නිබඳව හිමිවේ. සියළු උපද්‍රවවලින් රැකවරණය සැළසේ.

බොහෝ දෙනෙක් පිරිත් නූලක බලය ගැන නොයෙක් මතිමතාන්තර දක්වති.

සමහරු කියන්නේ වරු තුනෙන් එහි බලය නැති වී යන බවය. වරු තුනෙන් බලය නැති වේ නම් පිරිතක් කියවන්නේ කුමටද? මේ කතා නොයෙක් අය හිතු මතේට ගොඩ නගා ගන්නා ලද ඒවාය.

පිරිත් නූලක බලය නූලටත් වඩා පවතින්නේ හි​ෙත්ය. තමන්ගේ හිතේ පිරිත් නූල කෙරේත් තුණුරුවන් කෙරේත් විශ්වාසය ඇතිතාක් එහි බලය ශක්තිය නොනැසී පවතී. අවුරුදු ගාණක් ගියත් නොනැසී පවතී.

සමහරුන් ගෙවල්වලට, ව්‍යාපාරික ස්ථානවලට මුල්ගල් තියද්දී එතැන බුලත් කොළයක එතූ පිරිත් නූලක් තැන්පත් කරති. මේ පිරිත් නූල එතැන පවතින තුරා අද‌ාළ භූමිවාසීන්ට තුණුරුවනේ ආශිර්වාදය හිමිවේ. ප්‍රේත භූත බලපෑම් දුරුවේ.

පිරිත් නූලේ බලය මිනිසුන්ටත් වඩා තදින් දැනෙන්නේ යක්‍ෂ, ප්‍රේත, භූතාදි අමනුෂ්‍ය කොටස් වලටය. ඔවුහු ඒ සීමාවකටවත් ළං නොවී ‘‘වහං’’ වී සිටීමට උත්සාහ කරති. එයම කොයිතරම් ජීවිතාශිර්වාදයක්?

සමහරු ගෙවල් වටේ පිරිත් නූල් අදිති. එසේ අදිනවා නම් අනිවාර්යෙන්ම ගේ ඇතුළේ පිරිත් කියද්දී එය කළ යුතුවෙයි. ගෙයි පිරිත් කියන විට අමනුෂ්‍යයෝ නිවසෙන් හා ගෙවත්තෙන් පිටවයේ. නැවත ටික දිනකින් ඔවුන් ගෙවත්තට පැන නිවස වටලනු ලැබේ.

නිවසේ පිරිත් දේශනාවක් අතරතුර අමනුෂ්‍යයන් ගෙබිමෙන් පිට ඈතට වී සිටින නිසා වත්ත හතර මායිම පිරිත් නූල් ගැට ගසා ආරක්‍ෂා කර ගැනීමෙන් ඔවුන්ට ආපසු ගෙවත්තට ඒමට ඇති හැකියාව ඇහිරේ. පිරිත් නූල ඒ සා ප්‍රබලය. යක්ෂ, ප්‍රේත, භූතයන් ළඟටවත් කිට්ටු නොවන අසීමිත බලය ඇතියකි.

සමහරු දෙනා පිරිත් නූල් තමන්ගේ මුදල් පසුම්බි වල දමා ගත්තත් එය ශරීරයේ ස්පර්ෂවන තරමට ආශිර්වාදය දෙන බව පැහැදිලි කර ගත යුතුය.

සාමාන්‍යයෙන් අද සෙත් පිරිත් කීවත්, වරු පිරිත් කීවත්, තිස්පෑ පිරිත් කීවත් පිරිත් නූලක් අතේ ගැට ගසනු ලබයි. එහි පවතින ශක්තිය ගැන කෙනෙකුගේ හිතේ කුකුසක් තියෙන්නට පුළුවන.

වෙළෙඳ පොළෙන් නූලක් ගෙන එය භික්‍ෂූන් වහන්සේ නමක් විසින් රතන සූත්‍රය වරක් සජ්ඣායනා කර අතේ බැන්දත් තුණුරුවනේ ගුණ පිහිටු වූ එය පිරිත් නූලක්ම වේ. ආශිර්වාදය වෙනස් නොවේ. නමුත් එහි ශක්තිය අතින් යම් වෙනසක් තියේ. සරලව පැහැදිලි කර ගැන්ම පිණිස උද‌ා, දැක්වුවොත්, අධිවෝල්ටීය විදුලි කම්බියක ගෙනයන ශක්ති ධාරාව හා සාමාන්‍ය විදුලි කම්බියක ගෙන යන ශක්ති ධාරාව වෙනස් නේද? එසේම සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් තුළින් ලබා ගන්නා පිරිත් හුය අතිශය ප්‍රබලය. පිරිත් හුයේ ශක්තිමය වෙනස ඒ අාකාරයට අඩු වැඩි විය හැක.

පිරිත් මණ්ඩපයක සාමාන්‍යයෙන් ප්‍රේරාසනය (ප්‍රධාන ආපනය) ළඟ රාජ ගහ නමින් ලපටි පුවක් ගහක් ගැට ගසනු ලබයි. මෙයට ඉන්ද්‍රඛීලය නමද, කල්ප වක්‍ෂය නමද භාවිතා වෙයි. මේ දෙකම බ්‍රාහ්මන සංස්කෘතියේ වෛදික සාහිත්‍යයට අයත් ඒවා වේ.

ඉන්ද්‍රඛීලය යන්න කිසිවකුට හොල්ලන්නට බැරි විනාශ කළ නොහැකි යන අර්ථයත් බුදුදහමට අනුව ගත හැකිය. පුරාණයේ ඉදි වූ චෛත්‍යවල පහළ සිට ඉහළටම එන යූපස්කන්ධ නැමති ගල් කණුවද ‘ඉන්ද්‍රඛීලය’ට සමාන අදහස ගොඩනගන්නකි.

බමුණන් සතුන් යාග කරද්දී ගෙන එන සතුන් සියලු දෙනා බැඳ තැබීමට භාවිතා කළේ ශක්තිමත් කණුවකි. එයටද ඉන්ද්‍රඛීලය යැයි කීහ. ඉන්ද්‍රඛීලය, යූපස්කන්ධය යන සියළු වචන බෞද්ධ සංස්කෘතියට එකතු වුණේ ඉන්දියන් සාහිත්‍යයෙනි. මේවාට බෞද්ධ සංස්කෘතියේ එන නියම වචනය රාජ ගහය.

බුදුරජාණන් වහන්සේ බොහෝ වස් කාලයක් රජගහ නුවරහි ගත කළහ. පිරිත් සූත්‍ර රාශියක්ම ‘රාජ ගහේ විහරති’ යනුවෙන් සඳහන් වේ. බුදුන් වහන්සේ රාජගහේ වැඩසිටීම අර්ථවත් වීම පිණිස හෙවත් රජගහනුවර අර්ථවත් කිරීම වඩා ඉස්මතු කිරීම පිණිස පිරිත් මණ්ඩපයේ රාජ ගහ බැඳීම සිදු කරන බවද සිතිය හැකිය. එසේම රජස් යනු කෙලෙස්ය. මේ ක්ලේෂ ප්‍රහීණ කරනු පිණිස වන කටයුත්තක් නිසා රාජගහ බඳින බවද තව අතෙකින් ගත හැකිය.

මේ සඳහා බොහෝ විට ගොබය ඇති දළු පුවක් පැළයක් යොද‌ා ගනී. අතු කීපයක් තිබීමද වැඩි සුදුසුකමක් බවට පත්වේ. ඇතැම්හු පුවක් මල් තියෙන කුඩා ගස්ද යොදාගනී.

රාජගහ සඳහා පුවක් ශාකය යො‌ද‌ා ගන්නේ ඇයි…? පුවක් ශාකය විශේෂ ඖෂධ ගුණ බලයක් ඇති ශාකයකි.

සිංහල වෙදකමේදී සර්පයන් දෂ්ඨ කළ රෝගීන්ට පුවක් දළු කොටා ඉස්ම පොවනු ලැබේ. එමගින් සර්ප විෂ වහා දුරුව යන බව කියැවේ. එසේමැ පත්තෑයකු, බඹරෙකු, දෙබරෙකු, ගෝනුස්සකු, කෘමියකු දෂ්ඨ කළ විට පුවක් ගෙඩියක පොත්තේ යුෂ එතැන ආලේප කරති. ඉදිමුම බැස ගොස් වහා සහනය දේ.

පුවක් ගසක පරිසරය පිරිසිදු කිරීමේ ශක්තියද ඇත. පුවක් ගසේ කොළ මැළවී යන විට ඒ ශක්තිය මුසු වෙන්නේ අවට පරිසරයටයි. එවිට ඒ ශක්තියෙන් පරිසරය පිරිසිදු වේ.

දළු පුවක් ගසක් ගෙනැත් පිරිත් මණ්ඩපයේ රාජගහට තැබීමෙන් එහි කොළවලින් මිදී යන ශක්තිය හරහා ඒ අවට පරිසරයේ සියළු විෂ බීජ නාශනය කරමින් තුණුරුවනට වැඩ සිටින්නට සුදුසු පරිසරයක් සේම වන්දනාවට පාත්‍රවන ස්ථානයක් බවට එතැන ඉබේම පත් කරයි.

පිරිත් මණ්ඩපය අසල දෙවියන්ගේ වන්දනාමානයට පාත්‍රවන නිසා ඒ අවට සුදුසු ස්වභාවික පරිසරයද රාජගහට යොද‌ා ගන්නා පුවක් ගසිනුත්, වියනේ එල්වන නොයෙක් කොළ අතු වලිනුත් සකසා දෙයි.

මණ්ඩපයේ ඉහළ සුදු වියනක් බඳී. එය තුණුරුවනට කරන ගෞරවයක් වශයෙනි. ශුක්ල හෙවත් සුදුපාට පවිත්‍රත්වයේ සංකේතයයි. සුදු ධර්ම නියෝජනය කරයි. වියන යටින් සුදු නූල් හෝ කම්බි ඇද එහි නුගපත්, පුවක් දළු, නාදළු, බුලත් දළු එල්වයි. ඇතැම් පැතිවල දිවුල් කොළ හෝ ඒවා නැත්නම් අඹ කොළ එල්වීම කරති.

නුග ගස් පත්‍ර වලට පරිසරය පිරිසිදු කිරීමේ මනා ශක්තියක් පවතින්නකි. වනස්පති නමින්ද නුග ගස හැඳිනීමෙන් එය වනයේ බලධාරියකුය යන අදහස ගෙනේ. එසේම නුග ශාකයට පරිසරයේ දේශගුණ ලක්‍ෂණයට මැනවින් අනුගත වීමේ ශක්තිය ඇත. සුබ නැකැත්වලදී හිසට හා පයට නුගපත් තැබීමෙන් කරන්නේ එහි පවතිනා යහපත්භාවය හේතු කොට ගෙනය.

නා දළු එල්ලවීම ද විශේෂ වේ. නා බුදුවරුවන්ට බෝධියක් වූ විශේෂ ශාකයකි.

ඊළඟට දිවුල් පත් වලද විශේෂ ගුණ ඇත. කරපිංචා ගසේ සියළු ගුණ දිවුල් කොළවල තියෙන බව කියැවේ.

විශේෂයෙන් කිසියම් ස්වභාවික පිරිසිදු පරිසරයක් පිරිත් මණ්ඩපය තුළ නිර්මාණය වේ. එය එක් අතෙකින් බුදුරජාණන් වහන්සේ වඩාත් අගය කළ පරිසරයකි. දෙවියන්ගේ ඇල්ම බැල්ම වඩා පහසු කරන පරිසරයය. මේ කොළ යම් ආකාරයට මැළවී යද්දී එහි ශක්තියෙන් විෂබීජ නාශනයක් සිදුවන නිසා එය පිරිතට වඩාත් උචිතවම පරිසරය නිර්මාණය කර දෙයි.

මණ්ඩපයේ වට්ටියක විලඳ, පොරි, ඊතණ තබා තියෙනු ඔබ දැක ඇත. එසේම සුදු හඳුන් හෝ රත් සඳුන් උරච්චිකර (ගලගා) බුලත් කොළේක තැබීමද කළ යුත්තකි.

මණ්ඩපයට වඩින භික්‍ෂූන් වහන්සේලා අත්වල සඳුන් මිශ්‍ර කරගෙන පිරිත් නූල, පිරිත් පොත ඇල්වීම කරන්නේ කටයුත්තේ වැඩි ආශිර්වාදය පිණිසය.

ඇතැම් ප්‍රදේශවල මණ්ඩපයට වඩින හිමිවරුන්ට විළඳ පොරි ඉසීමක් කරති. කරඬුවට, පිරිත් පොතටද පොරි ඉසති. එය තුරුණුවනට කරන වැඩි ගෞරවයක් වශයෙනි.

මේ ඉසින විළඳ උදේ වෙන විට එකුදු ඇටයක් හෝ දකින්නට නැත. ඒවා බොහෝ කෘමි සතුන් රැගෙන ගොස් තිබෙයි. එක අතකින් කෘමීන්ට එළි මහනේදී තම ආහාර ලැබෙන නිසා කෘමි සත්තු මණ්ඩපය තුළට ඇතුළු නොවේ. පොරි ඉසීම ගෞරවයට කරන දෙයක් සේම සතුන්ට කරුණාවෙන්, මෛත්‍රියෙන් දක්වන සංග්‍රහයක් බවටද පත්වේ.

අටපට්ටම් හැඩැති කූඩුව වටා මැටි කළ හයක් හෝ අටක පොල්මල් ගසා මේ පොල්මලේ මැටිපහන් දල්වති. මේවා පිරිත ආරම්භ වූ තැන සිට අවසානය දක්වා දැල්වේ. එයින් පරිසරය වඩ වඩාත් පිරිසිදු වී ආලෝකය පැතිරී සියළු යහපත උදාකරණ ලක්‍ෂණයක් බවට පත්වේ.

මරණ ගෙවල්හි දේහය අසල පොල්තෙල් පහන් දල්වන්නේ පරිසරයේ විෂ බීජ නාශනය කරගනු පිණිසය. මේ විශේෂ විෂබීජ නාශක බලය දැල්වෙන පොල්තෙල් පහනට තිබේ.

පිරිත් මණ්ඩපය වටා මැටි පහන් දැල්වීම අදහස මුදුන්පත් වීම පිණිස වඩා උපයෝගී වේ.

– අසංක ආටිගල
ලංකාදීප පුවත්පත

Leave a comment

Comments