ඔබටත් ශුක්‍රාණු සමග ලේ පිටවෙනවාද..?

ලිංගේන්ද්‍රිය ආශ්‍රිත ගැටළු ගැන සාකච්ඡා කරන්නට අපේ බොහෝ දෙනා ලජ්ජාවක් දක්වන බව රහසක් නෙමෙයි.

මේ අන්දමට සාකච්ඡා කිරීමට දක්වන බිය ලජ්ජාව නිසාම බොහෝමයක් සරලව විසඳා ගත හැකි කරුණු සංකීර්ණ බවට පත් කරගෙන හිතින්ද දුක්වෙනවා පමණක් නොවේ, ව්‍යාජ බේත් ඖෂධ සොයා ගොස් වැඩේ තවත් වණ කර ගන්නා අවස්ථා ද බහුලව දක්නට ලැබෙයි. පිරිමින් මුහුණ දිය හැකි හැබැයි කතා කරන්නට ලැජ්ජා වන ඒ වගේම වරදවා වටහා ගෙන බොරු බයකට පත්වන තවත් රෝග තත්ත්වයක් ගැනයි මේ.

ශුක්‍රාණු සමඟ ලේ පිටවීම

සමහරවිට ඉතා කලාතුරකින් අවස්ථවාක පුරුෂ ශුක්‍ර තරලය සමඟ රුධිරය පිටවිය හැකියි. එවිට එය දිස්වන්නේ රෝස පැහැයකින් යුතුවයි. මේ වගේ තත්ත්වයක් පවතින විට පිරිමි බොහෝ විට භීතියට පත්වෙන බව දකින්නට හැකියි. හුඟක් වෙලාවට හිතන්නේ තමන්ට සමාජ රෝගයක් වැළඳී ඇති බවයි. නැතිනම් පිළිකාවක් හැදී ඇති බවයි.

මේ අන්දමට ධාතු සමග රුධිරය පිටවෙන්නට හේතුවන කාරණා කිහිපයක්ම තිබෙනවා. එයින් ඉතා සරලම හේතුව සුරාන්තයේදී ධාතු පිටවීමත් සමඟ එම වේගයට මුත්‍ර මාර්ගයේ පිහිටි සියුම් රුධිර නාල පුපුරා රුධිරය ස්වල්පයක් එකතුවීමයි. මේ තත්ත්වය බොහෝ විට ඉබේම සුව වන්නකි. නමුත් එය දිගටම දක්නට ලැබෙනවා නම් කළ යුත්තේ පවුලේ වෛද්‍යවරයා හමු වී උපදෙස් පැතීමයි.

පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිත ගැටළු නිසා ද මේ වගේ රුධිර පිටවීමක් දකින්නට හැකියි. පුරස්ථි ග්‍රන්ථිය ඉදිමී එහි රුධිරය ශිරා තුළ තදවීම නිසා ශුක්‍රාණු සමඟ රුධිරය පිටවිය හැකියි. මේ සඳහා ඖෂධ ප්‍රතිකාර පවතින අතර සැත්කම් මගින්ද පිළියම් යෙදිය හැකියි.

ඒ වගේම පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා නිසාත් රුධිරය පිටවන්නට හැකියි. මෙහිදී සැත්කම් හෝමෝන ප්‍රතිකාර, විකිරණ ප්‍රතිකාර හෝ රසායනික ප්‍රතිකාර ලබා ගන්නට හැකියි.

පුරස්ථි ග්‍රන්ථියේ, මුත්‍රා නාලයේ නැතිනම් ශුක්‍ර ආශයිකා ආශ්‍රිතව හටගන්නා ආසාදන තත්ත්ව නිසාත් යම් අවස්ථාවන්හිදී රුධිරය පිටවීමට හැකියි. මේ සඳහා වෛද්‍ය උපදෙස් ගැනීම කළ යුතු අතර ප්‍රතිජීවක ඖෂධ මගින් ඔය කියන රෝගී තත්ත්වය වහාම සුව කරගත හැකියි.

Chech out one of our videos:

Leave a comment

Comments