ලෝකයේ ලොකුම ගුවන් යානය පදවන හිටපු නියෝජ්‍ය ඇමති පුතාගේ ජීවිත කතාව

ලෝකයේ ලොකුම ගුවන් යානයක් පදවන ශ්‍රී ලාංකිකයා ගැන පසුගිය දවස් වල අන්තර්ජාලය පුරාම කතාබහට ලක්වුණා. මේ ඔහු ගැන සතිඅන්ත පුවත්පතක ලියැවුණු ලිපියක්.

“මොනාද ඔයාට මේ පාර උපන් දිනයට අරන් දෙන්න ඕනෑ”

හැම අවුරුද්දෙම උපන් දිනය දවසට පුතණ්ඩියා ඉල්ලන දේ තාත්තා හොදාකාරවම දන්නවා වුණත් පුරුද්දට වගේ හැමදාමත් එහෙම අහනවා.

“ප්ලේන් එකක්”

පුතත් හැමදාම ඉල්ලන එකම දේ. කවදාවත් ඒක වෙනස් වෙන්නේ නෑ. ඒ ඉල්ලන දේ අරන් දෙන්න තාත්තා එක පයින් කැමැති වුණත් පුතා ඒවා අතේ තියාගෙන ඊළඟට කියන දේට නම් තාත්තා පොඩ්ඩක්වත් කැමැති වුණේ නෑ. තෑග්ග දෙන ගමන්ම “ලොකු වුණාම කවුරු වෙන්නද කැමැති” කියලා තාත්තා පුතාගෙන් විමසන්නේ පුතා කැමැති තාත්තා අකැමැති දේ දැන් හෝ වෙනස් වෙලා ඇති කියන බලාපොරොත්තුවෙන්.

“මට ඕනෑ පයිලට් කෙනෙක් වෙන්න”

කෙදිනකවත් වෙනස් නොවන පුතාගේ එකම අරමුණයි ඒ. ඔය උත්තරය ලැබෙද්දී තාත්තාට හැමදාමත් තරහා යනවා. තාත්තාට තරහ ගියාට පුතාගේ ආශාවට අම්මාගේ නම් අකැමැත්තක් නෑ. ඒ වුණත් ඇය සද්ද නොකර තාත්තාගෙයි පුතාගෙයි සංවාදවලට කන් දෙනවා මිස කාගෙවත් පැත්තක් නම් ගන්නේ නෑ.

උදය තිලකරත්න. ඒ තමයි මේ කිව්ව පුතා. පවුලේ වැඩිමලා. ඔහුට බාල නංගිලා දෙන්නයි. මේ අයගේ තාත්තා අපේ රටේ හිටපු මන්ත්‍රිවරයෙක්. රත්ගම මහජන මන්ත්‍රි පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රීඩා නියෝජ්‍ය ඇමැති ඩී. ඊ. තිලකරත්න. එදා තාත්තා වගේ අද පුතා උදයත් හරි ජනප්‍රියයි. පුංචි කාලේ ඉදන් දැකපු හීනය හැබෑ කරගත් උදය තමයි ඊයේ පෙරේදා ලංකාවට ආ ලෝකයේ ලොකුම මගී ගුවන් යානයේ නියමුවා වුණේ. දැන් ඔහු කපිතාන් උදය තිලකරත්න.

දැනට ලෝකයේ නිපදවා ඇති විශාලතම මගී ගුවන් යානය වන්නේ මෙම එයාර් බස් ඒ 380 ගුවන් යානයයි. මෙය සුවිශේෂී ගුවන් යානයක් ලෙස සැලකෙන්නේ එය දිගු දුර, අධිවේගී මගී ගුවන් යානයක් වීමත්, එකවර මගීන් 853කට ගමන් කළ හැකිවීමත් සම්පූර්ණ දිග පුරා විහිදුණු තට්ටු 2ක් හා ප්‍රබල නමුත් කාර්යක්ෂම එන්ජින් 4කින් සමන්විත වීමත් නිසයි. වේගය පැයට කිලෝමීටර් 9000ට වැඩියි. ඉන්ධන ලීටර 323, 500ක් එක්ක නොකඩවා කිලෝමීටර් 14,000කට වඩා ධාවනය කළ හැකි මෙම ගුවන් යානයේ නියමුවා වූ උදය තිලකරත්න ගැන හුඟක් දෙනා බොහෝ දේ කතා කළා. ලාංකිකයන් විදියට අපිට මහ ලොකු ආඩම්බරයක් දැනුණා. රටටම ආඩම්බරයි.

අනෙක පුංචි කාලේ දකින හීන හැබෑ කරගෙන මෙහෙම සුවිශේෂී වෙන්න පුළුවන් කීයෙන් කීදෙනාටද? එහෙව් එකේ උදය මොන තරම් වාසනාවන්තද? මේ වෙද්දී උදය ආපසු ඩුබායි රටට ගිහින්. මෙරට සිටි දවස් දෙක තුනේදී වුවත් හැමදාමත් තම ජීවිතයට ආශීර්වාදයක් වූ අම්මා බලලා යන්න ඔහු අමතක කළේ නෑ. උදයට මාධ්‍ය එක්ක සම්බන්ධතා තහනම්. ඒ ඔහුගේ රැකියාවේ ස්වභාවය. ඒත් ඔහුගේ අම්මාට තම ආඩම්බරකාර පුතා ගැන කියන්න මොන තහනමක්ද? තම පුතු ගැන කියන්න ඇයට වඩා වෙන කවුද දන්නේ. උදය රටින් පිටවී ගිය සැණින් අපි උදයගේ අම්මා සොයා ගියේ මේ පුතාගේ එදා දස්කම් හා මෙතෙක් ආ ගමන ගැන තොරතුරු විමසන්නයි.

“පුතා පුංචි කාලේ අපේ ගෙදර එක එක ප්‍රමාණයේ සෙල්ලම් ගුවන් යානා ගොඩගහලා. කෑලි ගලවනවා. ආයේ එකතු කරනවා. ඕකම තමයි සෙල්ලම. ජීවිතේ පුරාම ඔළුවේ තිබුණු එකම දේ “පයිලට්” කෙනෙක් වෙන ආශාව විතරයි.”

ඇය ගර්ටි තිලකරත්න. උදයගේ ආදරණීය මව. ඇය උදය මෙලොවට බිහි කළේ 1960 ජුනි මාසේ දවසක. අලුත උපන් පුතා ගැන මේ අම්මයි තාත්තයි ලොකු හීන දැක්කා. පාසල් යන වයසට එද්දී ලොකු ඉස්කෝලවලට යැව්වෙත් ඒ හින හැබෑ කරගන්න ඕන නිසයි. උදය මුලින්ම ගියේ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලට. උසස් පෙළ හදාරන්න ගියේ කොළඹ රාජකීය විදුහලට. උදය පාසලෙත් කැපීපෙනන චරිතයක්. දක්ෂ බාල දක්ෂයෙක්. ක්‍රිකට්වලට තිබූ නැඹුරුවත් ඒ වගේමයි.

“පුතාගේ තාත්තාට ඕනෑ වුණේ ඔහු අධ්‍යාපනය අතින් ඉහළට ගිහින් උසස් නිලධාරියෙක් වෙනවා දකින්නයි. නමුත් පුතාට ඕන වුණේ උසස් පෙළවත් නොලියා තමන්ගේ අරමුණට යන්නයි.

“ඕනවට වඩා ඉගෙන ගෙන බෝක්කු උඩට වෙලා ඉන්න මට බෑ: පුතා හැමදාම කිව්වේ ඔය කතාව. “මට පයිලට් කෙනෙක් වෙන්න දෙන්නේ නැත්නම් තාත්තා මීට පස්සේ ප්ලේන්වල යන්නත් එපා: තර්ක විතර්ක ගොඩයි. නමුත් අපේ කටේ බලේට උසස් පෙළ කෙරෙව්වා. විශාකාවේ ඉගැන්වූ අපේ ඥාති ගුරුවරියකගේ ගෙදර නවත්තලයි ඒ දේ කෙරෙව්වේ”

ඔන්න දැන් උසස් පෙළ ලියලා ඉවරයි. උදයගෙන් තාත්තාට තවත් ඉල්ලීමක්.

“මට ටෙක්සාස්වලට යන්න විතරක් ටිකට් එක අරන් දෙන්න” ඒ ගමන නම් තාත්තා මුකුත් නොකියා ඒ ඉල්ලීම ඉටු කළා.

“පුතා අපිට කියලා ගියේ ඇමෙරිකාවේ යන්නේ ගුවන් නියමු ඉංජිනේරු පාඨමලාව හදාරන්න කියලයි. නමුත් ගිහින් කරලා තියෙන්නේ ගුවන් නියමු පාඨමාලාව. තමන්ට අවශ්‍ය මුදල් ගැන තාත්තාට ආයේ කවදාවත් කරදර කළේ නෑ. ගුවන් තොටුපොළේ තිබූ යම් යම් රාජකාරිත් කරලා මුදල් හොයාගෙන අන්තිමට අපිටත් සල්ලි එව්වා. නංගිලාට ඇඳුම් පැලඳුම් හැමදේම එව්වා”

ඇමෙරිකාවේ ටෙක්සාස්වලට ගිය උදය එහෙ අවුරුදු 2,3ක් ඉඳලා නැවතත් ලංකාවට ආවා. උදය ලංකාවට එද්දී ඔහුගේ මුළු පවුලම බංග්ලාදේශයේ. හේතුව උදයගේ පියා ඒ වෙද්දි එහෙ ශ්‍රී ලංකා මහ කොමසාරිස්.

“පුතා බංග්ලාදේශයට ආවේ නෑ. ඔහු කවදාවත් තාත්තාගේ වෘත්තිය හරහා වරප්‍රසාද ගන්න කැමැති වුණේ නෑ. සමහර මිතුරන්ටවත් කියලා නෑ තාත්තා කවුද කියලා”

උදය පුංචි කාලේදී නොදන්නාකමට වෙන්නැති පියාගේ ඡන්ද ව්‍යාපාරවල, රැස්වීම්වල පෙරමුණ ගෙන වැඩ කළාලු. හැමෝටම ඉදිරියෙන් හිටගන්නේ “අපේ තාත්තිට ජයවේවා” කියලා ලියලා තිබුණු තොප්පියකුත් ඔළුවේ දාගෙනලු.

“ඒ වුණාට තේරුම් ඇති කාලෙදි නම් තාත්තා තාත්තාගේ වැඩ. පුතා පුතාගේ වැඩ. මම තමයි තාත්තාගේ පස්සෙන්ම හිටියේ. මගේ මහත්තයා නියෝජනය කළ රත්ගම ආසනයට ඉස්සර කිව්වේ “පුංචි යාපනය” කියලා. ඒ තරම් මිනීමැරුම් එහෙ තිබුණා.

අපේ දරුවෝ තුන්දෙනා වැඩිපුර බලාගත්තේ මගේ අම්මා. හැබැයි දැන් දරුවෝ වගේ නෙවෙයි. මේ තුන්දෙනාගෙන් කිසි කරදරයක් නෑ. අයියා ටිකක් චණ්ඩියා. ඉතින් නංගිලා ඒ චණ්ඩිකම් බලන්න ඕන නැති නිසා අයියා එක්ක පැටලෙන්න ගියේ නෑ.”

ටෙක්සාස්වල ඉඳලා ලංකාවට ආ උදය ලංකා ගුවන් සමාගමේ කාලයක් සේවය කළේ කිසිදු වැටුපක් නොගෙන. ඊළඟටයි ඔහු සිංගප්පූරු ගුවන් සමාගමට සම්බන්ධ වුණේ. එතැනින් එමිරේට්ස් ගුවන් සමාගමට ඔහු සම්බන්ධ වුණේ මීට වසර 3,4කට කලින්.

“ඒ 380 ගුවන් යානය ලංකාවට එන බව මම දැනගත්තාම මම පුතාගෙන් ඇහුවා මේ එයාර්බස් එක ලංකාවට එනවා නේද කියලා. පුතා කිසිම ගානක් නැතිව කියනවා “ඔව් එනවා. ඒකේ එන්නේ මම” කියලා. මට ඒක කොච්චර ලොකු දෙයක්ද. නමුත් පුතා කවදත් එහෙමයි. කිසිම දෙයක් ලොකුවට ඔළුවට ගන්නේ නෑ. දැන් නම් ඔහුට රස්සාව වෙහෙස කරයි. තව අවුරුදු 2, 3කින් සමහර විට විශ්‍රාම ගනීවි.”
“උදයගේ අඩිපාරේ යන්න කවුරුත් නැද්ද?”

“පුතාට ඉන්නේ දුවලා දෙන්නෙක්. එක්කෙනක් ඇමෙරිකාවේ විශ්වවිද්‍යාලයක ඉගෙන ගෙන රැකියාවක් අපේක්ෂාවෙන් ඉන්නවා. අනෙක් දුව වෛද්‍ය විද්‍යාව හදාරනවා. ඒත් උදයගේ බාල නංගිගේ පුතා නම් මාමාගේ ගමන යන්න ලැහැස්තියි. එයත් උදය පොඩි කාලේ වගේමයි. “පයිලට්” වෙන්නමයි හිත.

“තාත්තා නැති වෙද්දී උදය පයිලට් කෙනෙක් වෙලාද?”

“ඔව්. මහත්තයා නැති වුණේ 1989දී. පස්සේ කාලෙදී පුතාට තාත්තා ආශිර්වාද කළා. නමුත් ඔහු මිය යද්දී තුන්දෙනාගෙන් එක් කෙනෙක්වත් විවාහ වෙලා නෑ. දරුවෝ ඉදිරි ජීවිතයත් හදා ගනීවී කියල බලාපොරොත්තුව මැරෙන මොහොතෙත් මහත්තයාගේ හිතේ තිබුණා”

උදයගේ ලොකු නංගි ජයවර්ධනපුර රෝහලේ වෛද්‍යවරියක්. බාල නැඟණිය විවාහ වී ඇමෙරිකාවේ පදිංචියට ගිහින්. පියා හිතුව විදියටම ඔවුන් තමන්ගේ ජීවිත ගොඩනඟා ගත්තා.

“පුතාට මොන රාජකාරිය තිබුණත් නංගිලාගේ වැඩකටයුතුවලදී හැම වෙලාවෙම මා එක්ක හිටියා. හැම පැත්තෙන්ම ඔහු ජය ගත්තා. ඒ මොකවත් නිසා නෙවෙයි ඔහුගේ ධෛර්යවන්තකම නිසා. තවත් අවුරුදු දෙකකින් පුතා විශ්‍රාම ගත්තත් තමන් හැමදාමත් දුටු හීනය මල්පල ගැන්වුණු හැටි සිහි කරලා ඔහු හැමදාමත් සතුට විඳීවි.

ඒ 380 ගුවන් යානය ලංකාවට ගොඩබානා අවස්තාව ඇතුලත් වීඩියෝව පහතින්.

Leave a comment

Comments