ආදරයේදී ගැහැණු ළමයි කරන වැරදි 10ක් මෙන්න..

639

ආදර සම්බන්ධයකදී පිරිමි කෙනෙක් ගැහැණු කෙනෙක් තුල දකින දේවල් බොහොමයක් තියෙනවා. ගොඩක් දෙනෙක් ලස්සන බලලා යාළු වෙනවා කියන දේ ඇත්තක් වුනත් යාළු වුනාට පස්සේ ඒක දිගටම පවත්වා ගෙන යනවාද කියන එක තීරණය කරන්න පිරිමි අය නිතරම බලන දේවල් කිහිපයක් තියනවා. ඒ අතර දැනුම, හැකියාවන්, තමන් ගැන ගැහැණු කෙනා දක්වන ආකල්පය සහ තමන්ගේ සිරුර හරියට තියා ගන්න මොන තරම් සැලකිලිමත් වෙනවද කියන දේවල් ප්‍රධානයි. මෙතනදී කියන්නේ මේක් අප් දාන ප්‍රමාණයවත්, ගාන ක්‍රීම්, බොන සප්ලිමන්ට් ගානවත් නෙවෙයි. එදිනෙදා ජීවිතයේදී නිතරම පිරිසිදුවට, දකින්න ආස හිතෙන විදිහට ඉන්න එක ඊට වඩා වැදගත්. ඒ වගේම ගැහැණු ළමයි අතින් සිදු වෙන පුංචි වැරදි වලට වුනත් පිරිමි කෙනෙක් හරිම සංවේදී නිසා ඒවායින් සම්බන්ධයේ ලොකු වෙනසක් ඇති වෙන්න ඉඩ තියෙනවා.

කලින් කියපු කාරණා නිවැරදිව පවත්වා ගෙන යන කෙනෙක් නම් මේ වන විට ඔයත් බොහොම සතුටු දායක සම්බන්ධයක් තියෙන කෙනෙක් වෙන්න ඇති. ඉතින් ඒ වගේ අයට ගැට‍ළුවක් නැතිව සම්බන්ධය හොඳින් තියා ගන්නත්, තමන් කෙරෙහි පිරිමි කෙනාගේ සැලකිල්ල වැඩි කර ගන්නත් හේතු වෙන කාරණා තමයි මේ කියන්න යන්නේ. මේ කියන වැරදි 10 නොකර ඉන්න බැලුවොත් ඔබේ සම්බන්ධය බොහෝ ගුණාත්මක එකක් වෙයි කියලා සහතික වෙන්න පුළුවන්.

  1. උනන්දුවක් නැති කම.

පිරිමි කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙන පමණින් තමන්ගේ අනාගතය සම්පුර්ණයෙන් එයා පිට පටවන අයට කවුරුත් කැමති නෑ. ගැහැණු කෙනෙක් වුනත් තමන්ගේ දැනුම වර්ධනය කර ගන්න, තමන්ගේ රැකියාව අතින් ඉස්සරහට යන්න, තමන්ගේ ජීවිතය ගොඩ නගා ගන්න පුළුවන් කෙනෙක් වෙන්න අවශ්‍යයි. ඕනෑම පිරිමි කෙනෙක් කැමතියි තමන්ගෙන් හැම දේම ලබා ගන්න ගැහැණු කෙනෙකුට වඩා තමන්ට ශක්තියක් වෙන්න පුළුවන් කෙනෙක්ට. මේ නිසා ඒ ගැන ටිකක් හිතුවොත් හොඳයි.

  1. ආදරය ආයුධයක් කර ගන්න එක

තමන්ගේ කෙනාගේ යම් වැරැද්දකට දඬුවම් දෙන්න ආදරය පාවිච්චි කරන එක ලොකු වැරැද්දක්. මේක ලිංගික කටයුතු වලටත් පොදුයි. තමන්ට එයාගේ තියෙන ආදරය හා තමන්ගේ සිරුරට එයාගේ තියන ආශාව තමන්ගේ උවමනා එපා කම් වලට පාවිච්චි කරොත් ඉක්මනටම ඒ සම්බන්ධය අහවරක් වෙනවා. මේ නිසා තමන්ට ඕන දෙයක් ලබා ගන්න උත්සාහ කරද්දී ආයුධයක් විදිහට වෙනුවට තමන්ට ලැබුණ දේකට තමන්ගෙන් ලැබෙන තෑග්ගක් විදිහට ඒ දේවල් පාවිච්චි කරන්න බලන්න.

  1. උවමනාවට වඩා වැරදි හොයන එක

ප්‍රමාණයට වඩා හැම දෙයකම වැරදි හොයන්න ගියාම ඒක ඕනෑම පිරිමි කෙනෙකුට එපා වෙනවා. අනිත් දේ තමයි හැම වැරැද්දටම බනින්න යන එක. ගැහැණු ළමයි බලාපොරොත්තු වෙනවා මෙහෙම වුනාම එයා නිවැරදි දේ කරන්න පෙලඹෙයි කියලා, ඒත් ඇත්තටම සිද්ධ වෙන්නේ එයාලාට ගැහැණු කෙනාව එපා වෙන එකයි. මේ නිසා මොන තරම් වැරදි තිබුනත් ඒ සේරම එක පාර හරි ගස්සන්න ගිහින් තමන්ට තියෙන බැඳීම නැති කර නොගන්නට ප්‍රවේසම් වෙන්න.

  1. එයාව වෙනස් කරන්න උත්සාහ ගන්න එක

සම්බන්ධයක් පටන් ගත්ත ගමන් තමන් බොස් වෙලා තමන්ට ඕන විදිහට පිරිමි කෙනාව වෙනස් කර ගන්න හදන අය තමයි ලොකුම ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ. ඇත්තටම ඔබ අකමැති ලක්ෂණ ගොඩක් තියෙන කෙනෙක් එක්ක යාළු වෙලා එයාව වෙනස් කරන්න හදනවාට වඩා තමන් කැමති විදිහේ කෙනෙක් හොයා ගන්න ලේසියි. හැම වෙලාවේම පිරිමි කෙනාට එයා කැමති විදිහට කටයුතු කරන්න දෙන්න බලන්න, හැම දෙයක්ම වෙනස් කරලා තමන්ට ඕන විදිහට හදා ගන්න උත්සාහ කරන අයට කිසිම පිරිමියෙක් කැමති නෑ.

  1. ගනු සහ දෙනු නීතිය අමතක කරන එක

හැම වෙලාවේම ඔබ දෙයක් බලාපොරොත්තු වෙනවා නම් ඒ වගේම දෙයක් අනිත් පැත්තට කරන්න වග බලා ගන්න. තමන්ට හොඳට සලකන්න නම් තමනුත් එයාට හොඳින් සලකන්න අවශ්‍යයි. තමන්ගෙන් ඉටු වෙන්න තියෙන දේවල් මග හැරලා එක එක දේවල් බලාපොරොත්තු වෙන්න ගියොත් එයා කරන හැම දෙයක්ම උවමනාවට එපාවට කරන දේවල් බවට පත් වෙනවා විතරයි. මේ නිසා හැඟීමෙන් දෙයක් කරලා විතරක් තවත් දෙයක් බලාපොරොත්තු වෙන්න.

  1. ශරීරය ගැන සැලකිල්ලක් නැති එක

පිරිමි අය නිතරම ආසයි තමන්ගේ කෙනාව ලස්සනට දකින්න ආසයි. ඒ නිසා නිතරම ප්‍රිය මනාප විදිහට ඉන්න බලන්න. මේකෙන් කියන්නේ ලොකු වියදමක් කරලා ලස්සන වෙන්න කියන එක නෙවෙයි, නිතරම නාල පිරිසිදුව ඉන්න එක වුනත් ඇති. ඒ වගේම ටිකක් හරි තමන්ගේ ශරීරයේ හැඩය ගැන සැලකිල්ලෙන් ඉන්න. පිරිමි අය ඇසින් දකින දේට හැම වෙලාවේම වැඩි සැලකිල්ලක් දෙන නිසා ඔබ ලස්සන ගැන සැලකිලිමත්ව හිටියොත් පිරිමි කෙනාගේ හිත ඔබ වෙතම තියා ගන්න පුළුවන්.

  1. ඊර්ෂ්‍යාව

මෙතැනදී ඊර්ෂ්‍යාව කිව්වේ ගොඩක් වෙලාවට තමන්ගේ කෙනා ඇසුරු කරන අනිත් ගැහැණු අය ගැන ඕනෑවට වඩා ඊර්ෂ්‍යා කරන එකයි. ඒ ගැහැණු අය ඔබට වඩා ලස්සන වුනා කියලා එයාලා ඇසුරු කරන්න එපා කියලා නීති දාන එක හරිම බොළඳ වැඩක්. ඔබට විශ්වාසයක් තියෙන්න අවශ්‍යයි තමන්ගේ පිරිමි කෙනා ගැන. ආශ්‍රය කරන හැම කෙනෙක් ගැනම ඇහුවම ඕනෑම පිරිමි කෙනෙකුට එපා වෙනවා.

  1. හැම වෙලේම ඇඟේ එල්ලෙන්න යන එක

මේක පිරිමි කෙනාගෙන් කෙනාට වෙනස්, සමහරු කැමතියි තමාගේ ඇඟේම එල්ලිලා ඉන්න කෙනෙකුට. කොහොම වුනත් හැම වෙලාවේම පිරිමි කෙනාව අයිති කර ගෙන ඉන්නවා වගේ දැනෙන්න දෙන එක හරි යන්නේ නැහැ. එයාගේ හදවත් දිනා ගන්න උත්සහ කරන එකයි නිවැරදි දේ.

  1. සමාව ඉල්ලලා වඳ වැටෙන්න සලස්වන එක

සම්බන්ධයක් තියෙද්දී සිදු වෙන වැරදි වලට උවමනාවට වඩා තදින් ඉන්න එක ඒ තරම් ගැළපෙන්නේ නෑ. ප්‍රශ්නයක් ඇති වුනාම ඒක ඕනෑවට වඩා කාලයක් ඇද ගෙන යන්න එපා. විශේෂයෙන්ම පුංචි වැරැද්දකටත් සමාව ඉල්ලන්න වඳින්න ඕන වුනාම ඕනෑම පිරිමි කෙනෙක්ට ඒක එපා වෙනවා. එහෙමයි කියලා හැම දේටම ඉක්මනට සමාව දෙන්න ඕනේ නෑ. ඔයාම තේරුම් ගන්න අවශ්‍යයි වැරැද්දේ ප්‍රමාණය අනුව සාධාරණ කාලයක් තුල/ සාධාරණ ඉල්ලීමක් කරාම එල්බ ගෙන ඉන්නේ නැතිව සමාව දෙන්න.

  1. කිසිම දෙයක් ගැන අදහසක් නැති එක

පිරිමි අයට ගොඩක් එපා වෙන දෙයක් තමයි ඔයාගේ කැමැත්ත ඇහුවම අදහසක් නැති එක. මොනවද කන්නේ, බොන්නේ කියලා ඇහුවම “ඔයා කැමති දෙයක්” කියන එක නිතරම කියන්න එපා. තමන් කැමති දේ අහන්නේ ඒ දේ ලබා දෙන්න කැමති නිසානේ. මේක හොඳට මතක තියා ගන්න අවශ්‍ය කාරණයක්. ඔයාගේ කැමැත්ත ඇහුවම මොකක් හරි දෙයක් තෝරා ගෙන ඒක කියන්න. ආපහු ඔයා කැමති දෙයක් කියන උත්තරය දෙන්නම එපා.

මේ වගේ පොඩි වැරදි හරි ගස්සා ගත්තොත් ඔයාට තියෙන සම්බන්ධය පවත්වා ගෙන යන්න වගේම හොඳ කෙනෙක් යාළු වෙන්න ආවම එයා තමන්ට හිමි කර ගන්නත් පුළුවන් වේවි. මතක තියා ගන්න සම්බන්ධයක් පටන් ගන්න එක බොහෝ වෙලාවට පිරිමි කෙනාගේ උවමනාව මත සිද්ධ වුනාට සම්බන්ධය පවත්වා ගෙන යන්න වැඩියෙන් බලපාන්නේ ගැහැණු කෙනා කියන එක.

මේ ලිපිය යාලුවන්ටත් share කරලා එයාලාටත් මේ දැනුම බෙදා දෙන්න. කාට වුනත් මේ දේවල් ගැන දැනුමක් තියෙන එක හරිම ප්‍රයෝජනවත් වේවි.

Leave a comment

Comments

Close
Close
Loading...