fbpx

අවුරුදු පන්දහසකට පෙර ඌරාගේ බඩවැලෙන් උපන් සොසේජස්‌

පුංචි එවුන්ට දැක්‌ක ගමන් බත් පිඟානම කන්න හිතෙන සොසේජස්‌ උපත බැබිලෝනියාවේ සුමේරියන්වරුන්ට බාරදීම වරදක්‌ නැහැ. ඌරෙකුගේ බඩවැලෙන් ආවරණය කරන ලද අසම්පූර්ණ රස මිශ්‍රණයක්‌ විදිහට ඔවුන් මීට අවුරුදු 5000 කට පමණ පෙර සොසේජස්‌ හඳුන්වා දුන්නා.

සොසේජස්‌ රස මුළු ලෝකය පුරා පැතිරී ගියේ එක රැයකින් නොවේ. රෝමන්වරු ඔවුන්ගේ හමුදාවේ අයට ආහාර සඳහා බ්‍රිතාන්‍ය පුරා සොසේජස්‌ කම්හල් ආරම්භ කළා.

සොසේජස්‌වල රස සුවඳ රස නහර පිනා යන විට ජර්මන්වරුන්ට හිතුනා දවසකට තුන් වතාවක්‌වත් සොසේජස්‌ ආහාරයට ගන්න ඕන කියලා. “වර්ස්‌ට්‌” කියන ජර්මන්වරු සොසේජස්‌ පිළියෙල කරන රටාවත් වෙනස්‌ කළා. ඕනෑම දෙයක්‌ ඉදිරියට යන්න නම් එකම තැන පල් වෙනවට වඩා අලුත් විදිහට අත්හදා බලන්න ඕනෑ. වර්ස්‌ට්‌වරු සොසේජස්‌ ලුණු දැමීම, දුම් ගැසීම සහ හුමාලයෙන් තැම්බීම යන විවිධාකාර පැතිවලින් ඉදිරියට ගියා. මේවායේ සුවඳ පැතිරෙන විට තව තවත් සොසේජස්‌වලට තිබුණු රුචිය ඉහළ ගියා.

මියුනිච් නගරයේ ඇලොයිඩැල්මෙයර් රසහල විසින් යුරෝපයේ රාජකීය මන්දිර 16 කටම සොසේජස්‌ සැපයුවා. ශතවර්ෂ ගණනාවක්‌ මුළුල්ලේ ජර්මනියේ ප්‍රසිද්ධිය ලත් සොසේජස්‌ වර්ග කීපයක්‌ තිබෙනවා.

බෘවර්ස්‌ට්‌ (තම්බා ආහාරයට ගත යුතු)

රෝවස්‌ට්‌ (කල් තබා ගත හැකි)

කොච්වර්ස්‌ට්‌ (පිසින ලද)

ලිවර් වර්ස්‌ට්‌ (සත්ව අක්‌මාවෙන් සකස්‌ කළ)

ලැන්ඩල් බර්වස්‌ට්‌ කොම් (දේශීය ලෙස පිළියෙල වූ)

ගැන්සෙල් බර්වස්‌ට්‌ (පාත්ත මස්‌ පිරවූ)

ගැන්සෙලක්‌ ඕල්බර්වර්ස්‌ට්‌ (පාත්ත මස්‌ පුරවන ලද දේශීය ආහාර)

පෙරදිග ලෝකයේ අපට නම් සොසේජස්‌ අලුත් දෙයක්‌ වුණත් ක්‍රි. ව. 328 සූප ශාස්‌ත්‍ර පොතකත් සොසේජස්‌ ගැන සඳහන් වෙනවා. මේ පොතේ සඳහන් විදිහට නම් සොසේජස්‌ ආරම්භය ක්‍රි. පූර්ව යුගය තරම් වූ ඈත අතීතයකට යොමු වෙනවා.

සොසේජස්‌ පිළියෙල කිරීමේදී ඌරු, ගව, කුකුළු මස්‌ වගේම ඇතැම් රටවල් මාළුද යොදා ගන්නවා. රස ගැන්වීමට ලුණු, සුදුලූනු. ලූනු, ගම්මිරිස්‌ වගේම වර්ණවත් කිරීමට රතු වයින්ද යොදා ගන්නවා.

මේ අතර සොසේජස්‌ වැස්‌ම කෘත්‍රිම ලෙස නිෂ්පාදනය කිරීමට 1916 වර්ෂයේ ඇමරිකානු රසායන විද්‍යාඥයෙකු විසින් උනන්දු වුණා. 1930 වන විට ආවරණ වැස්‌ම නොමැතිව නිපදවන ලද සොසේජස්‌ විශේෂය Skinless – Frankurterර නමින් හැඳින්වුණා.

Frankfurter විශේෂය නිෂ්පාදනය කළේ ජර්මනියේ. මෙය ලොව පුරාම ඉතා ජනප්‍රිය වුණා. මෙම සොසේජස්‌ විශේෂය Hotඑ Dog සහ Red Hot යන නමින් හැඳින් වුණා.

උතුරු අප්‍රිකාවට ආවේනික විශේෂය රතු, තුනපහ මිශ්‍ර සොසේජස්‌ ලෙස හඳුන්වන අතර එය මොරොක්‌කෝව, ඇල්ජීරියාව, ටියුනීසියාව සහ ලිබියාව වැනි රටවල මෙන්ම ප්‍රංශය, ඊශ්‍රායලය මෙන්ම ජර්මනියේ සාර්ලන්තයටද ආවේනික වේ. රතු පැහැති මෙය බැටළු / ගව හෝ මෙම මාංශ දෙවර්ගයම මිශ්‍රව පිළියෙල කරනු ලබයි.

දකුණු අප්‍රිකාවේ සොසේජස්‌ විශේෂය boere wors නමින් හඳුන්වනු ලබයි. අධික මේද සහිත මෙම සොසේජස්‌ සඳහා ඌරු, බැටළු මස්‌ වැනි ප්‍රතිශතයක්‌ යොදා ගනු ලබයි.

චීනයේ සොසේජස්‌ ලුණු සහ රතු ගම්මිරිස්‌ යොදා රස කර ඇති අතර Lap cheong යන නමින් හඳුන්වනු ලබයි.ජපානයේ සොසේජස්‌ පිළිබඳව වූ විශේෂත්වය නම් මස්‌ වෙනුවට මාළු යොදා ගෙන සකස්‌ කිරීමයි.

කොරියාව සොසේජස්‌ නිපදවීමට ගව, ඌරු බඩවැල් යොදා ගන්නා අතරම සම්පීඩනය කරන ලද කැරට්‌, බාර්ලි වැනි අතිරේක ආහාරද යොදා ගනී.

පිලිපීනයේ සොසේජස්‌ ප්‍රභේද කීපයක්‌ ඇති අතර එරට සොසේජස්‌ හඳුන්වන්නේ longgnisa ලෙසින්ය. ප්‍රාදේශීය ලෙසින් විශේෂ අවස්‌ථාවන්හිදි Vigan (සුදුලූනු සහ පැණි රස ජාති) සහ Lucban (ඌරු තෙල්) විශේෂයන් වැදගත් වේ.

– පුන්‍යා චාන්දනී ද සිල්වා
දිවයින පුවත්පතේ පළවූ ලිපියකි.

Leave a comment

Comments