ඔබ රූපලාවන්‍ය නිෂ්පාදන මිලදී ගැනීමේදී මෙන්න මේ දේවල් ගැන අවධානය යොමු කරනවද..?

තමන්ගේ සුන්දරත්වය ගැන උනන්දු වීම ඕනෑම කාන්තාවකගේ ස්වභාවික ආශාවක්. ඉතින් ඔවුන් රූපලාවන්‍ය නිෂ්පාදන මිලදී ගැනීමට ගොඩාක් උනන්දුයි. වෙළඳපොලේත් කාන්තාව ඉලක්ක කරගෙන නිපද වූ රූපලාවන්‍ය නිෂ්පාදන වර්ග දහස් ගණන් තිබෙනවා. මේ නිෂ්පාදන මිලදී ගැනීමේදී ඔබ සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද?

වෙළඳපොලේ විකිණීමට ඇති රූපලාවන්‍ය නිෂ්පාදන වර්ග:

  • ෆෙස් වොෂ් (Facial Washes)
  • ක්ලෙන්සින්ග් බාර් (Cleansing Bars)
  • ක්‍රීම් ක්ලෙන්සර් (Cream Cleansers)
  • ටෝනර් (Toners & Astringents)
  • මොයිස්චරයිසර්ස් (Moisturizers)
  • මේකප් ( Make – up)
  • මේකප් රිමූවර් ( Make – up Removers)
  • ෆේස් මාස්ක්ස් (Face masks)
  • ස්ක්‍රබ් (Facial Scrubs & Exfoliators)
  • අයි ක්‍රීම් (Eye creams)
  • නයිට් ක්‍රීම් (Night creams)

මේ නිෂ්පාදන මිලදී ගැනීමට පෙර මේ ගැන සැලකිලිමත් වන්න

ඔබේ සමේ ස්වභාවය

ඔබ රූපලාවන්‍ය නිෂ්පාදන භාවිතා කරනවා නම්, ඊට පෙර ඔබේ සමේ ස්වභාවය ගැන දැනුවත් විය යුතුමයි. ඇත්තටම කි දෙනෙක් නම් යාළුවො “මේ ක්‍රීම් එක හොඳයි අනේ” කියපු ගමන් අරගෙන ගාලා බලනවාද? එහෙම නැත්තම් ලස්සන නිළියක් රූපවාහිනියෙන් ඇවිත් “මගේ හම පැහැපත් වුණේ මේ ක්‍රීම් එකට” කියපු ගමන් අපේ යුවතියන් කි දෙනෙක් රැවටෙනවාද? ඔබ නොදන්නවා වුණාට ඔබේ සමට නොගැලපෙන වැරදි ක්‍රීම් වර්ග භාවිතා කිරීම නිසා ඔබේ සමට හානි ඇති වෙනවා. කුරුලෑ වැඩි වෙන්නත්, සමේ තෙල් ගතිය හෝ වියළි ගතිය වැඩි වෙන්නත් මෙය හේතුවක් වෙනවා.

නිපදවා ඇති රට

අපේ සමහර කාන්තාවන් ඔස්ට්‍රේලියාව, එංගලන්තය වගේ රටවල නිපදවනු ලැබූ රූපලාවන්‍ය නිෂ්පාදන හරිම ආඩම්බරයෙන් පාවිච්චි කරනවා. ඒත් එය නුවණැති ක්‍රියාවක් නම් නෙවෙයි. අපේ රටේ උෂ්ණත්වය සහ යුරෝප රටවල උෂ්ණත්වය සම්පුර්ණයෙන්ම වෙනස්. අපේ රට හොඳින් හිරු එලිය ලැබෙන, උෂ්ණාධික රටක්. ඉතින් සීතල දේශගුණයක ජීවත් වෙන මිනිසුන් වෙනුවෙන් නිපදවූ රූපලාවන්‍ය නිෂ්පාදන වර්ග අපේ රටට ගැලපෙන්නේ නැහැ. ඒවා ආලේප කළ විට විවිධ අපහසුතා මතු වෙනවා. එවැනි ක්‍රීම් එකක් ආලේප කරගෙන හිරු එලියට නිරාවරණය වූ විට අධික ලෙස දහදිය දැමීම, මුහුණ පිළිස්සෙනවා සේ දැනෙන්නට පටන් ගැනීම, කුරුලෑ වැඩි වීම වගේ විවිධ අපහසුතා වලට මුහුණ දෙන්නට සිදු වෙනවා.

කල් ඉකුත් වන දිනය

කඩේ මුදලාලි ක්‍රීම් එක දීපු ගමන් අරගෙන එන්න එපා. ඒකෙ කල් ඉකුත් වන දිනය අනිවාර්යයෙන්ම බලන්න. මොකද කියනවා නම්, නියමිත දිනය පහු වෙද්දී මේ නිෂ්පාදන තුල පවතින සංයෝගයන් ටික ටික වෙනස් වීම් වලට බඳුන් වෙන්න පටන් ගන්නවා. සමහර නිෂ්පාදන නරක් වෙනවා. ඒවායේ ගුණාත්මක බව විනාශ වෙනවා. ඒවා තුල බැක්ටීරියාවන් වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඉතින් ඔබ ඒවා භාවිතා කරපුවම ඔබ හිතපු ප්‍රතිඵලය ඔබට නොලැබී යන්න පුළුවන්. ඒ වගේම තමයි කල් ඉකුත් වූ රූපලාවන්‍ය නිෂ්පාදන භාවිතය නිසා ඔබේ සමේ සහ හිස කෙස් වල බැක්ටීරියා ආසාදන ඇති වීමේ අවදානමකුත් පවතිනවා.

නිෂ්පාදිත දිනය

ඔබ රූපලාවන්‍ය නිෂ්පාදන මිලදී ගැනීමේදී කල් ඉකුත් වන දිනය බලනවා වගේම, නිෂ්පාදිත දිනය ගැනත් ඔබ සැලකිලිමත් විය යුතුමයි. නිෂ්පාදනය කළ දිනය ආසන්නයේම ඇති ආලේපන භාවිතා කරනවා නම් ගොඩක්ම හොඳයි. මුල් දින වල නිශ්පාදනයන්හි ගුණත්වය ඒ ආකාරයෙන්ම රැකිලා තිබෙනවා. ටික ටික පරණ වෙනකොට මුල් ගුණත්වය ටික ටික පිරිහෙන්නට පටන් ගන්නවා. එවිට ඔබ අපේක්ෂා කරන සම්පුර්ණ ප්‍රතිඵලය ලබා ගැනීමට ඔබට නොහැකි වෙනවා.

අඩංගු අමුද්‍රව්‍ය

නිෂ්පාදනය මිලදී ගැනීමට පෙර එහි අඩංගු වන අමුද්‍රව්‍ය ගැන දැනුවත් වීම වැදගත්. ඔබ දන්නවා රසායනික සංයෝග සහිත රූපලාවන්‍ය නිෂ්පාදන ඔබේ සමට හානි කර බව. රසායනික අමුද්‍රව්‍ය සහිත රූපලාවන්‍ය නිෂ්පාදන ආලේප කිරීම නිසා පසුකාලීනව පිළිකා, චර්ම ආසාදන වැනි රෝගී තත්වයන්ට මුහුණ දීමට සිදු වීමේ අවදානමක් පවතිනවා. මේ නිසා ඔබ රූපලාවන්‍ය නිෂ්පාදන තෝරා ගැනීමේදී රසායනික අමුද්‍රව්‍ය අඩු නිෂ්පාදනයන් තෝරා ගන්න. ශාක කොටස් අමුද්‍රව්‍ය ලෙස යොදා ගන්නා රූපලාවන්‍ය නිෂ්පාදන වලින් සමට හානි සිදු වන්නේ ගොඩාක් අඩුවෙන්. මේ නිසා අමුද්‍රව්‍ය ලෙස ශාකසාර වල නම් සටහන් වන රූපලාවන්‍ය නිෂ්පාදන ම තෝරා ගැනීමට උනන්දු වන්න.

Leave a comment

Comments