මෙන්න මෙහෙම බත් උයලා කොච්චර කෑවත් මහත් වෙන්නේ නෑ…

බත් කියන්නේ ලාභදායක ඒ වගේම පෝෂ්‍යදායි ආහාරයක්. මෙමගින් අපේ දෛනික කැලරි අවශ්‍යතාවයෙන් විශාල ප්‍රමාණයක් සපුරා ගන්න පුළුවන්. නමුත් බත් අධික ලෙස ආහාරයට ගැනීම නිසා අධික තරබාරුව ඇති වීමටත් පුළුවන්. ඒ නිසා බත් කන කොට ප්‍රමාණය ඉක්ම වන්නේ නැතුව කුසගින්න නිවා ගැනීම සදහා අවශ්‍ය ලෙස පරිභෝජනයට ගත යුතු වනවා.

අද අපි ඔබව දැනුවත් කරන්නේ අනවශ්‍ය පිෂ්ඨය ඉවත් කරලා බත් උයන්නේ කොහොමද කියලා. අතීතයේ අපේ මුතුන් මිත්තන් බත් වගේ බර ආහාරයක් ගත්තේ ඔවුන්ට අවශ්‍ය ශක්තිය ලබාගන්න. ඔවුන් බත් කාලා කායිකව විශාල වැඩ ප්‍රමාණයක් කලා. එහෙත් අපි අද කරන්නේ බත් කාලා දවස පුරා පුටුවක් උඩ දවස ගෙවන එක. ඒ නිසා බත් වල තියෙන අධික කැලරි ප්‍රමාණය අඩු වෙන විදිහට බත් පිස ගැනීම අද කාලින අවශ්‍යතාවයක් වෙලා.

හාල් කෝප්ප එකක සාමාන්‍යයෙන් කැලරි 200ක් අඩංගු වෙනවා. හිතන්න ඔබ දවසකට හාල් කෝප්ප කීයක් විතර කනවද කියලා. සාමාන්‍ය නිරෝගී මිනිසෙකුගේ දෛනික කැලරි අවශ්‍යතාවය වෙන්නෙත් කැලරි 2000යි. එතකොට දවසේ වේල් දෙකක් තුනක් බත් කාලා තව පිටි වලින් හදන ක්ෂිනික ආහාර එහෙමත් කාලා , චොකලට් , කේක් වගේ අධික ලෙස කැලරි අඩංගු පැණි රස කෑම වර්ගත් කන කොට අපි දැන් කතා කරපු දෛනික කැලරි අවශ්‍යතාව ඉක්මවා කැලරි ශරීරයට ඇතුළු වෙනවා. ඊට පස්සේ වෙන්නේ ඉතින් ඒ වැඩි කැලරි ප්‍රමාණය මේද තැන්පතු ලෙස උදරය අවට හා තට්ටම් වල තැන්පත් වීම.

මෙම හේතුව නිසා කය වෙහෙස කරවන්නේ නැති කෙනෙකු අසීමිත ලෙස බත් ආහාරයට ගැනීමෙන් දිගුකාලීනව ශරීරයේ සීනි ප්‍රමාණය වැඩි වී දියවැඩියාව ඇති වෙන්න පුළුවන්. බියවන්නට අවශ්‍ය නෑ. හාල් වල තියෙන මේදය සහ කැලරි ප්‍රමාණය අඩුවෙන් අවශෝෂණය කර ගනිමින් බත් උයන නව ක්‍රමයක් පිළිබඳව ශ්‍රි ලාංකීය පර්යේෂකයින් පිරිසක් විසින් නවතම අදහසක් ඉදිරිපත්කර තිඛෙනවා. මේ පර්යේෂණ කණ්ඩායම කියන විදියට බත්වල අඩංගු මේ අධික මේදය ඉවත්කර ගැනීමට ඔවුන් යොදා ගන්නේ පොල්තෙල්. පිරිසිදු පොල්තෙල් බතට එකතු කර ගැනීමෙන් කැලරි අවශෝෂණය 50%ක් අඩු කර ගන්න පුළුවන් කියල ඔවුන් සනාථ කරගෙන.

මේ සඳහා ඔබ කල යුත්තේ ඔබ බත් පිසින විට ඔබේ සාමාන්‍යයෙන් බත් උයන විදිහට අමතරව උණුවෙන බත් හට්ටියට පොල්තෙල් හැන්දක් එකතු කර ගැනීම පමණයි. හැබැයි මේ විදියට පොල්තෙල් එකතු කරලා උයාගත්ත බත් ටික පැය 12ක් පමණ ශීතකරණයේ තැබීමෙන් පසු තමයි ආහාරයට ගත යුතු වෙන්නේ.

මේ විදිහට බත් ආහාරයට එකතු කරගැනීම දියවැඩියාව සහ ස්ථුලතාවය තියෙන අයට ඉතාමත්ම ගුණදායක බව පැවසෙනවා. එමගින් ශරීරයට අවශෝෂණය කරගන්නා පිෂ්ඨය ප්‍රමාණය 10 ගුණයකින් අඩු කර ගන්න පුළුවන්. මේ ක්‍රමය සුදු කැකුළු වගේ ඕනෑම හාලක් එක්කත් අත්හදා බලන්න පුළුවන් කියලා මේ පර්යේෂණ කණ්ඩායම වැඩි දුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

Leave a comment

Comments