රටම භීතියට පත් කළ ඉන්ෆ්ලුවෙන්සා රෝගයෙන් බේරෙන්නේ මෙහෙමයි..

දකුණු පළාතම භීතියට පත් කරමින් පැතිර යන ඉන්ෆ්ලුවෙන්සා රෝගය වසංගතයක් සේ පැතිර යමින් පවති. මෙම රෝගයෙන් බිළින්දන් කිහිප දෙනෙකුගේ ජිවීතද අවාසනාවන්ත ලෙස අහිමි විය. මෙම රෝගය පැතිර යාම පාලනය කිරීම ජාතික වගකීමකි. පුවත්පතක් සමග සංවාදයකට එක්වන මාතර මහ රෝහලේ 14 වැනි වාට්ටුවේ සේවය කරන ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කේ.පී.ඩී. පුෂ්පකුමාර මෙම රෝගයෙන් වැළකෙන ආකාරය පිළිබදව අදහස් දක්වා තිබුනා.

එම සංවාදය පහතින්,

“හැම වසරකම වාගේ මේ වාගේ වසංගත රෝග එනවා. ඉන්ෆ්ලුවන්සා තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. ගිය අවුරුද්දේ ගොඩක්ම ඩෙංගු රෝගය තිබුණු නිසා ඉන්ෆ්ලුවන්සා රෝගය එච්චර මතුවෙලා තිබුණෙ නෑ. නමුත් මේ අවුරුද්දේ ඩෙංගු රෝගය යටපත් වෙලා තිබෙනවා. ඉන්ෆ්ලුවන්සා රෝගය මතුවී ආවා. ඉන්ෆ්ලුවන්සා වයිරස් එක තමයි ප්‍රධාන වශයෙන් ඒ සහ ඕ ලෙස වර්ගීකරණය වෙන්නේ. මීට අමතරව පැන්ඩීමික් කියලා වයිරස් වර්ගයක් තියෙනවා. ඒක ලෝකෙ පුරා ව්‍යාප්ත වන වයිරස් එකක්. ඒ වගේම ඒ වයිරස් එකට අමතරව ඒ හා සමාන රෝග ලක්ෂණ පෙන්වන ‘රෙස්පිරේටරි සින්සිටියන් වයිරස්’ කියල වයිරස් එකකුත් දැන් ඇවිත් තියෙනවා. ඒක අපි අසනීප වුණු අයගෙන් දැක්කා. ඊටත් අමතරව ඇඩිනෝ වයිරස් කියලා තවත් එකක් තියෙනවා.

මේ වයිරස් එක ප්‍රධාන වශයෙන්ම කුඩා දරුවන්ට බලපානවා වැඩියි. විශේෂයෙන්ම ප්‍රතිශක්ති උෟනතාවක් තියෙන දරුවන්ට. ඒ නිසා අවුරුද්දට වඩා අඩු දරුවන් ටිකක් ප්‍රවේශම් කරගත යුතුයි.

ඒ වගේම ගර්භණී මවුවරුන්ටත් ඒ රෝගයට ගොදුරුවන ප්‍රවණතාව ඉතා ඉහළයි. ඊට අමතරව වයෝවෘද්ධ පිරිසටත් රෝගයට ගොදුරුවීමේ අවදානම වැඩියි. අවුරුදු 75 – 80 වගේ අයට. නමුත් කුඩා දරුවන් ගත් විට අද උපදින දරුවන්ට පවා මේ රෝගය හැදෙනවා. එම ඉන්ෆ්ලුවන්සා වයිරසය ශරීර ගත වුණොත් එහෙම ඒවා බිනිති වශයෙන් තමයි යන්නෙ. බිනිති කහින විට ශ්වසන පද්ධතියේ ඇති ශ්‍රාවයන් එක්ක පරිසරයට එකතු වෙනවා. ඒ නිසා අනෙක් අයටත් ආසාදනය වෙනවා.

කුඩා ළමයින්ට ආසාදනය වීමේ හැකියාව වැඩියි. ඒ ශ්වසන පද්ධතියේ ආසාදනයක් වශයෙන් එනවිට උණ, හිසේ රුදාව, උගුරේ අමාරුව, හෙම්බිරිස්සාව, කැස්ස තියෙන්න පුළුවන්. පෙණහලුවලට ආසාදනය වුණොත් ඊට අමතරව දරුවාගේ තියෙන දුර්වලතාවන් දකින්න පුළුවන්. දරුවාට නිදිමත ගතිය ශරීරයේ දුර්වලතාවක්. ක්‍රීඩාවලට යොමු නොවීම වගේ ඇඟේ තියෙන දුර්වලකම නිසා එහෙම වෙන්න පුළුවන්.

ඊටත් අමතරව ඇඩිනෝ වයිරසය ශරීරගත වුණොත් ඒ අයගේ ශරීර තත්ත්වය අනුව ඒ ඉහත රෝග ලක්ෂණ සියල්ලම එන්න පුළුවන්. ඊට අමතරව පාචන තත්ත්වයක් පවා ඇතිවෙනවා.

මේ පාර කරාපිටියේ වැඩිපුර මියගිය රෝගීන්ගෙන් වැඩිපුර ඇතිවෙලා තියෙන්නෙ ඇඩිනෝ වයිරස් එකෙන්. ඉන්ෆ්ලුවන්සා වයිරස් එකෙන් නෙවෙයි. ඇත්ත වශයෙන්ම ඕකේදී වළක්වා ගැනීමට එන්නත් තියෙනවා. නමුත් එන්නත් සාර්ථක නෑ. එන්නත් පිටරටක හදන්නේ. ලංකාවට එන විට මාස පහක් හයක් විතර ගත වෙනවා. එවිට ඒ වයිරසයේ තියෙන මුහුණත වෙනස් වෙලා. එවිට අපි ලංකාවේ මුහුණ දෙන වයිරසය ඒ එන්නතට ගැළපෙන්නෙ නැති වෙන්න පුළුවන්. ඒ එන්නත නොවෙයි සාමාන්‍යයෙන් ළමයින්ගේ මුහුණු වැස්ම ආවරණය කිරීම, කැස්සකදී අතින් වසා ගැනීම, විශාල ලෙස ජනතාව රැස්වන ස්ථානවලට ළමයි රැගෙන යෑමෙන් වැළකීම මෙහිදී වැදගත් වෙනවා.

ඒ වගේම මේ රෝග තත්ත්වය ඇතිවන විටදීම ඉතාමත් ඉක්මනින් රෝහලට යොමු වෙන්න ඕන. විශේෂයෙන්ම රජයේ රෝහලකට තමයි එන්න ඕන. බොහෝ වෙලාවට ළමයාගේ ආරක්ෂාව නෙවෙයි මවුපියන්ගේ පහසුව තකා ඔවුන් රෝගියාව පෞද්ගලික රෝහලකට රැගෙන යනවා. නමුත් රජයේ රෝහලට පැමිණීමෙන් නිවැරැදි ලෙස වෛද්‍ය ප්‍රතිකාර ලැබෙනවා. විශේෂයෙන්ම සම්පූර්ණ රුධිර සාම්පල් පරීක්ෂා කර බලන්න පුළුවන්. ඊට අමතරව ඉන්ෆ්ලුවන්සා වයිරස් එකේ ඒද ඕද කියලා හඳුනගන්න හැකි වෙනවා. ඒ සඳහා පරීක්ෂණ තියෙනවා.

ඉන්ෆ්ලුවන්සා ඒ වැලඳෙන විට ශරීරයේ වියළීම, විජලනය වැළැක්වීමට දියර වර්ග දීම එහෙමත් බැරිනම් සේලයින් දීම කළ යුතුයි. මේ සඳහා ප්‍රතිකාර ලෙස විශේෂයෙන් යන ඔෟෂධ යුරෝපා රටවල්වලින් ගෙන්වනවා. මේක තමයි වැඩි වශයෙන් භාවිත කරන්නේ.

ඒ අනුව ජීවිත ආරක්ෂා කර ගැනීමට කඩිනමින් ප්‍රතිකාරවලට යොමු වීමත්, ඒ දරුවන්ගේ ඇඟේ තියෙන ජල මට්ටම ප්‍රශස්ත මට්ටමක තියා ගැනීමත් ඉතා වටිනවා. රෝගීන් හරියට වතුර බොන්නේ නෑ. වමනය කරනවා. මෙවැනි අවස්ථාවලදී සේලයින් වහා ශරීර ගත කරන්න ඕන.

මෙහිදී රෝගීන් රෝහල් කරා එන්න මැළි වෙනවා. ඒ රෝහලට ආවම රෝගය බෝ වේවි කියලා මතයක ඉන්න හින්දා. ඇත්තටම ඒක තමයි නරකම දේ. රෝගය උස්සන්න වෙන්න කලින් රෝහලට එන්න ඕන. විශේෂයෙන් රජයේ රෝහලකට එන්න ඕන. එවිට වෛද්‍යවරු නිරීක්ෂණය කරනවා. හෙද හෙදියන් නිරීක්ෂණය කරනවා. එහෙම නැතිව කුඩා කාමරයකට හිරකරලා තියෙන එක සාර්ථක නෑ.

විශේෂයෙන්ම හැමෝම හිතට ගන්න ඕන දෙයක් තමයි නියමිත වේලාවට ප්‍රතිකාර ගන්න එක පමා වීමෙන් ශරීරයේ සියලුම පද්ධතිවලට හානි ඇති වෙනවා. ඒ වගේම මොළයට ආසාදනය වෙනවා. පෙණහලුවලට ආසාදනය වෙන්න පුළුවන්. වකුගඩු නරක් වෙනවා. වකුගඩුවලට නිසි ලෙස වතුර නැති නිසා, අක්මාව ඇතුළු සියලු පද්ධතිවලට එහෙම වෙන්න පුළුවන් ප්‍රතිකාර ගැනීම පමා වීම නිසා. පුද්ගලයෙක් පරක්කුවෙලා ආවොත් මියයන්න පුළුවන්.

පෙර කී පරිදි ශරීරයේ අත්‍යවශ්‍ය පද්ධති විනාශ වුණාට පස්සේ, පෙණහල්ල බෙහෙත් ගන්නෙ නැතිව විනාශ වුණාට පස්සේ වෙන මොනව කළත් වැඩක් නෑ. හුස්ම ගන්න මැෂින් එකට සම්බන්ධ කළත් වැඩක් නැහැ. හරියට පෙණහල්ලෙන් ඔක්සිජන් යන්නෙ නැහැ. එවිට මැරෙනවා. ඒක වළක්වන්න බෑ.

එක්කෝ මැෂිමෙන් කරන්නේ කෘත්‍රිම පෙණහැල්ලක් වගේ. නමුත් මේ කොටස ආසාදනය වීමෙන් මරණයට පත්වෙනවා. මෙම තත්ත්වය ලෝකයේ හැම තැනම තියෙනවා. මේ රෝගයෙන් හැමදාම මියයන ප්‍රතිශත ගණන් තිබුණා. දියුණු රටවල එන්නත් නිසි ලෙස දෙනවා.

මෙම රෝග තත්ත්වය වැඩිහිටි අයකුට ඔරොත්තු දෙන්න පුළුවන්. ඒ හැමෝම මැරෙන්නෙ නෑ. ඒ අයට ඒ ආසාදන තත්ත්වයන් පහළ වුණාම එතරම් ගානක් නෑ. විශේෂයෙන්ම මෙය පැතිරීම වැළැක්වීමට කටයුතු කළ යුතුයි. රෝගියාගේ නහය අල්ලලා පොතක් පැන්සලක් අල්ලලා හුවමාරු වුණාම හැදෙන්න පුළුවන්.

විශේෂයෙන්ම වායුසමනය කරන ලද වාහනවල යෑමෙන් වැඩි වශයෙන් මෙය ව්‍යාප්ත වෙනවා. උදාහරණයක් ලෙස කිව්වොත් ඒ.සී. බස් එකක එක රෝගියෙක් හිටියොත් බස් එකේ ඉන්න සියල්ලටම මෙය බෝවීම වළක්වන්න බෑ.

ඊට අමතරව පිළිගැනීම සඳහා අතට අත දීම තුළින්ද මෙය පැතිරෙනවා. රෝගයෙන් ආරක්ෂා වීමට හැකිතාක් ජනාකීර්ණ ස්ථානවල යෑම අවම කරන්න ඕන. මේ රෝගීන් ප්‍රතිකාර සඳහා රජයේ රෝහලකට ඒම ඉතා වැදගත්.”

Leave a comment

Comments