හැමෝම කිවුවේ මේ දරුවා මිය යයි කියලා. ඒත් උනේ මහා පුදුම දෙයක්…

496

හුරුබුහුටි මැක්ස්වෙල්ගේ වයස දැන් අවුරුදු දෙකකට ආසන්නයි. සිය වම් කකුලට වඩා කෙටි දකුණු කකුල අද්දවමින් ඔහු ඇවිදින හැටි බලන්නකුගේ නෙත් කෙවෙනි තෙත් වන්නේ නිරායාසයෙනි. නමුත් ළඟඳීම කෘතිම පාද ආධාරක ලැබීමත් සමඟ හුරතල් මැක්ස්ට මීට වඩා ඇවිදීම පහසු වනු ඇත. ඒ නැතත් මැක්ස්ගේ ලොකු අයියා වන ‘නේට්ගේ‘ සහායත් රැකවරණයත් නිරතුරුවම මැක්ස්ට ලැබෙන බව දන්නා නිසා ජූලිට තම පුංචි දඟකාරයා පිළිබඳ බියක් නැත. ළඟදීම පෙරපාසල් යාමටත් සූදානමින් සිටින මැක්ස් මීට මාස කිහිපයකට පෙරදී මුහුණදුන් විප්ලවීය සැත්කම නිසා, ඔහුට පෙර පාසල් ගමන කෙසේවත් අභියෝගයක් නොවණු ඇති බව මව ජූලි පවසන්නේ විශ්වාසයෙනි. වයස අවුරුදු දෙකක් වුවද, මාරාන්තික පිළිකාවක් පරදවා ඔහු ජයගෙන සිටින අභියෝගය හා සසඳන කළ පාසල් ගමන ඔහුට එතරම් දෙයක් නොවන බව කාට වුවත් හැඟෙනු ඇත.

වයස අවුරුද්දක් වූ මැක්ස්ගේ ඇවිදීමේ රටාවේ කිසියම් අස්වාභාවික වෙනස්වීමක් ජූලි පළමුවරට දුටුවේ පසුගිය ඔක්තෝබර් මාසයේදී ය. පැද්දෙමින් ගමන් කිරීමට පටන් ගත් සිය බිළිඳු පුතුගේ දකුණු පාදය මදක් පිටතට නෙරා ඇති බව පෙනෙන්නට තිබුණත් එය එතරම් බරපතළ තත්ත්වයක් බව ජූලි සැක කළේ නැත. නමුත් තෙදිනකට පසු තත්ත්වය බලා සිටියදීම දරුණු වූයේ මැක්ස්ට සිය දකුණු කකුලට බරදී කෙළින් සිට ගැනීමටවත් නොහැකි වීමත් සමඟයි. එතෙක් කල් ක්‍රියාශීලී ලෙස ඇවිද ගිය සිඟිති පුතු යළි දෑත් හා දෙපා බිම හොවා දණගාමින් ඇවිදින අයුරු දුටු ජූලී හා ඇගේ සැමියා ග්‍රෙග්, වහා ඔහු රෝහල වෙත ගෙන ගියත් මෙය කලබල විය යුතු තත්ත්වයක් නොවන බව වෛද්‍යවරුන්ගේ පිළිගැනීම විය. කෙසේ වුවත් ඔහුගේ පාදයේ එක්ස් කිරණ ඡායාරූප පිටපතක් ලබාගත් වෛද්‍යවරුන් සිඟිති මැක්ස්ගේ මවුපියන්ට උපදෙස් දුන්නේ මෙය වෛරස් ආසාදනයක් නිසා ඇතිවුවක් විය හැකි හෙයින්, දරුවා වයසින් වැඩෙද්දී තත්ත්වයේ වෙනසක් සිදු වන්නේද කියා විමසිලිමත් විය යුතු බවයි. නමුත් එදින සවස් වන විට සියල්ල බියකරු වෙනසකට බඳුන් වූයේ කිසිවකුත් නොසිතූ ලෙසයි.

එක්ස් කිරණ පිටපතේ මැක්ස්ගේ දණහිස වටා ප්‍රදේශයේ වළාකුලක් මෙන් පැතිරි ගිය සෙවණැල්ල ‘ඔස්ටියෝසාර්කෝමා‘ නමැති අස්ථි පිළිකාවක් බව ජූලි හා ග්‍රෙග්ට දැන්වූ වෛද්‍යවරුන්ගේ උපදෙස වූයේ කඩිනමින් ඔහු සැත්කමකට ලක් කළ යුතු බවයි. තම සුරතල් පුතු මුහුණු දී සිටින ජිවිත අවධානම හමුවේ දෙවරක් නොසිතූ ජූලි සිය සැමියා හා දරු දෙදෙනාද සමඟ මෙල්බර්න් නුවර රෝයල් ළමා රෝහල බලා පිටත් වූයේ ඇඳුම් කට්ටල හතරක් පමණක් රැගෙනයි. නමුත් මාස නවයක් යන තුරු ඔවුන්ට ගමරට බලා ඒමට හැකි වූයේ නැත.

කඩිනමින් ශල්‍යාගාරය වෙත කැඳවනු ලැබු සිඟිති මැක්ස් ඉන් පිටත්ව ගියේ ‘රොටේෂන් ප්ලාස්ටි‘ නෙහොත් කකුලේ ඉදිරිපස පිටුපසට මාරුකොට යළි බද්ධ කිරීමේ විප්ලවීය සැත්කමට මුහුණ දුන් මෙල්බර්න් නුවර ළාබාලම දරුවා ලෙස වාර්තාවක්ද පිහිටුවමිනි. එහිදි පැය අටක් පුරා සිදුකළ සැත්කමකදී මැක්ස්ගේ දණහිසත්, කලවාස්ථියෙන් සෙන්ටිමිටර් අටකුත්, ඌර්ධවස්ථියෙන් කොටසකුත් බවත් කළ වෛද්‍යවරුන් පාදයේ ඉදිරි කොටස 180 න් (වට භාගයකින්) කරකවා යළි සවි කරන ලද්දේ දණහිස් සන්ධිය වළලුකර සන්ධියක් බවට පරිවර්ථනය කරමිනි. පිළිකාවට එරෙහිව මැක්ස්ට ලබාදිය හැකි එකම උසස්ම ප්‍රතිකර්මය මෙම සම්මතයෙන් බැහැර වූ සැත්කම බව වෛද්‍ය නිගමනය විය.

වෛද්‍යවරුන් සිතුවාටත් වඩා සාර්ථක ප්‍රතිචාර ලබාදීමට සමත්වූ කුඩා මැක්ස් සැත්කමෙන් දින හයකට පසුව බඩගාන්නට පටන් ගත්තේ, තම එක් පාදයක් අනෙකට වඩා කෙටි වීමත්, එහි ඉදිරිපස හා පිටුපස මාරුවී නොතිබීමත් තමන්ට ගැටලුවක් නොවන බව කියා පාමිනි. මේ වන විට රසායනික ප්‍රතිකාර (chemotherapy) වට විසිනවයෙන් මැක්ස්ට සම්පුර්ණ කිරීමට තවත් ඉතිරිව ඇත්තේ වට හතක් පමණි. නමුත් දැනටමත් පිළිකාව ඔහු කෙරෙන් තුරන්ව ඇති බව වෛද්‍යවරු කියා සිටිති.

පිටුපසට කරකැවුණු කකුලක් සහිතව ඔබමොබ බඩගායන තම සිඟිති පුතුගේ රුව දකින වාරයක් පාසා ජූලිගේ නෙත් කෙවෙනි තෙත් වුවත්, ඇගේ හදවත උද්දාමයෙන් පිරි යයි. ඒ තව නොබෝ දිනකින්ම ඔහුට කෘතීම පාදවල ආධාරයෙන් දෙපයින් නැඟී සිටීමට හැකියාවක් ලැබෙනු ඇති නිසාම පමණක් නොව, ළාබාල වයසකදී පිළිකා මාරයා හා සටනින් ජය ලැබු තම සිඟිති පුතුට ඕනෑම අභියෝගයකට මුහුණ දීමට තරම් ආත්ම ශක්තියක් ඇති බව ඇය දන්නා නිසාය.

රුක්ලන්ති පෙරේරා

Leave a comment

Comments

Close
Close