දකුණු ආසියාවේ බලවත්ම ගැහැනිය…

98

 

සාමාන්‍ය පවුලක නර්තන ශිල්පිනියක්

ෆෝබිස් ව්‍යාපාරික සඟරාව විසින් පසුගියදා දකුණු ආසියානු කලාපයේ බලවත්ම කාන්තාව නම් කළා. ඇය නීටා අම්බානි. ඉන්දියාවේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වන මුකේෂ් අම්බානිගේ බිරිය වන ඇය මීට පෙර ලොව වැඩිම වටිනාකමක් හිම් සාරිය ඇඳි කාන්තාව ලෙස ගිනස් වාර්තාවකටද හිමිකම් කියනවා.

ලොව මිල අධිකම නිවෙස

අම්බානි පවුල මීට පෙර ලොව ප්‍රසිද්ධියට පත් වූයේ ඔවුන් විසින් පදිංචිය සඳහා ගොඩනැගූ නිවෙස හේතුවෙනි. තට්ටු 27කින් යුතු මෙම නිවෙස ලොව උසින් වැඩිම නිවෙස ලෙසද වාර්තාවකට හිමිකම් කියන අතර එහි රථ ගාලේ වාහන 160ක් නතර කළ හැකියි. ඒ අනුව ලොව අධික මුදලක් වියදම් කර තැනූ නිවෙසේ හිමිකරුවන් වූයේ මේ දෙපළයි.

බිරියගේ කාර්යභාරය

දැනට ඉන්දියාවේ සිටින බලවත්ම ව්‍යාපාරික පවුල ලෙස නම් දරන අම්බානි පවුලේ ව්‍යාපාරික කටයුතුවලදී නීටා අම්බානිගෙන් ලැබෙන සහාය ඉතා විශේෂයි. විශාල ව්‍යාපාර රැසක හිමිකරුවක් වන මුකේෂ් අම්බානිගේ ව්‍යාපාරික, මූල්‍ය සේම පෞද්ගලික ජීවිතයද නිසි පිළිවෙළකට සකස් කරන්නේ සිය බිරිය නීටා අම්බානි බවද ඔහු පවසා තිබෙනවා.

නිවෙසේ සිටම ව්‍යාපාරික කටයුතු මෙහෙයවීම සහ සොයා බැලීමේ මනා පුහුණුවක් ඇති නීටා අම්බානි, ඒ සඳහා නිවෙසේම කාර්යාල කාමරයක් සකසාගෙන තිබෙනවා.

නීටා අම්බානිට දරුවන් තිදෙනෙකු සිටිනවා. ගැහැණු දරුවකු සහ පිරිමි දරුවන් දෙදෙනකු වන ඔවුන්ගෙන් ඉෂා සහ ආකාශ් නිවුන් සොහොයුරන් වනවා. නීටා අම්බානිගේ අනෙක් පුතු වන්නේ පසුගිය අය. පී එල්. තරඟාවලියේදී කාගේත් අවධානය දිනාගත් විශාල තරබාරු සිරුර මාස 18න් සිහින් කරගත් අනන්ත් අම්බානිය.

සාමාන්‍ය පවුලක

මුකේෂ් අම්බානි සහ නීටා අම්බානි මෙන්ම ඔවුන් දෙදෙනාගේ ආදර කතාවත් ඉන්දියාවේ ජනප්‍රියයි. ඉතාම සාමාන්‍ය පවුලක දියණියක ලෙස ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ උපන් නීටා අම්බානිගේ මව ගුජරාටියේ නර්තන ශිල්පිනියක වනවා. ඒ නිසා ඇයත් වයස අවුරුදු අටේ සිටම නර්තනයට සහ සංගීතයට දස්කම් දැක්වූ දැරියක් වුණා. ඉන් නොනැවතුණු නීටා සිය රංගන හැකියාවන් ප්‍රදර්ශනය කරමින් නර්තන ප්‍රසංග කිහිපයක් පැවැත්වූවා. එයින් ඇය නර්තන ශිල්පිනියක් ලෙස ජනප්‍රිය වීමට වැඩි කලක් ගත වුයේ නැහැ.

නර්තන ශිල්පිනියක්

භාරත නාට්‍යය රංගනයට බෙහෙවින් ප්‍රිය කළ ඇය ඉන්දියාව පුරා විවිධ ප්‍රසංගවල ඇගේ රංගන කෞෂල්‍ය විදහා දැක්වූවා. මෙලෙස ඇය නර්තනයෙහි යෙදෙන බොහෝ ප්‍රසංග නැරැඹීමට විශේෂ අමුත්තකු කිහිපවරක්ම පැමිණ තිබුණා. ඒ එවකට ඉන්දියාවේ සුප්‍රසිද්ධ ව්‍යාපාරික දිරුබායි අම්බානියි.

අමුත්තකුගේ පැමිණීම

නීටාගේ නර්තනයට වඩා ඇගේ නියම ඉන්දියානු කාන්තා විලාසය හඳුනාගත් දිරුබායි අම්බානි ඇයට කිහිපවරක්ම කතාබහ කිරීමට උත්සාහ කළත් එම උත්සාහය සාර්ථක වූයේ නැහැ. අවසානයේදී එක් නර්තන ප්‍රසංගයක සංවිධායකවරුන් හමු වූ දිරුබායි අම්බානි නීටාගේ සියලුම විස්තර සහ දුරකතන අංකයද ඉල්ලා ගත්තා.

දින කිහිපයකට පසුව නීටා ඇමතූ ඔහු තමා සමඟ සාකච්ඡාවකට පැමිණෙන ලෙස ඇයට ආරාධනා කළා. එම ආරාධනය පිළිගත් නීටා සිය පියා සමඟ මේ දැවැන්ත ව්‍යාපාරිකයාගේ නිවෙසට ගිය අතර ඉදිරි දොර විවෘත කළේ දිරුබායි අම්බානිගේ පුත් මුකේෂ් අම්බානියි.

විවාහය පුදුමයක්

මුකේෂ් සහ නීටාගේ විවාහය පිළිබඳ මාතෘකාව ඒ සාකච්ඡාවේදී ප්‍රධානතම මාතෘකාව වූ අතර එය නීටාගේ පුදුමයට හේතු වුණා. කෙසේ වෙතත් ඇයට අවශ්‍ය වූයේ සිය අධ්‍යාපන කටයුතුවල තවදුරටත් නිරත වීමටයි. ඒ නිසා මේ යෝජනාවට එක්වරම කැමැත්ත ප්‍රකාශ කරන්න නීටා මැළි වුණා.

කෙසේ වෙතත් එක් දිනක් සිය කාරයෙන් නීටා සමග මුම්බායි නගරයට යමින් සිටි මුකේෂ් එක් අවස්ථාවක එක්වරම ‘ඔබ මාව විවාහ කරගන්නවාද’ යනුවෙන් නීටාගෙන් විමසා සිටියා. එවිටම දැඩි වාහන තදබදයකට සිර වුණ ඔවුන්ට විනාඩි 10ක් පමණ එම ගාර්ගයේ සිරවී සිටින්නට සිදු වූ අතර නැවත වාහනය ගමන් ආරම්භ කරන විටම නීටා ‘ඔව්’ යනුවෙන් පිළිතුරු පළ කළා.

එලෙස යුග දිවියට පැමිණ ඔවුන් දෙදෙනා ප්‍රීතිමත් සහ ගෞරවාන්විත විවාහ දිවියක් ගතකරන බව ව්‍යාපාරික ලෝකයේද ජනප්‍රියයි. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ මුම්බායි ඉන්දියන්ස් පිලෙහි අයිතිකාරිය වන නීටා අම්බානි සිය සැමියා සේම ජනහිතකාමී පොදු කටයුතුවලද නිරත වෙනවා.

Leave a comment

Comments

Close
Close