පරපුරේ අභිමානය රැකගන්න මහනුවර වැවට පැන දිවිනසා ගත් රාජකීය ගෘහ නිර්මාණ ශිල්පියාගේ කතාව මෙන්න

අනුරාධපුර රාජධානියෙන් ඇරඹි ලක්දිව පිහිටුවන ලද සෑම රාජධානියකම අනිවාර්ය අංගයක් බවට පත්වෙමින් පිහිටුවා ගෙන එන ලැබූ පූජනීය වාස්තුවිද්‍යා නිර්මාණය ලෙස දළදා මාළිගාව හැඳින්විය හැකිය. එසේ නිර්මාණය වෙමින් පැමිණි ඉතිහාසයේ මහනුවර රාජධානි සමයේ දී දළදා මාළිගාවට එකතු වූ නවාංගයකි පත්තිරිප්පුව. එසේම මහනුවර මඟුල් මඬුව හා නුවර වැව (කිරි මුහුද) යන නිර්මාණයන්හි අපූර්වතම නිමැයුම්කරුවා වූ කලි වාස්තු විද්‍යාවට, වඩු ශිල්පයට, චිත්‍ර කලාවට මෙන්ම තවත් කලා අංශ ගණනාවකට නිපුණතාව දැක්වූ දේවේන්ද්‍ර මූලාචාරීන්ය. හෙතෙම කීර්ති ශ්‍රී රාජසිංහ (1746-1779), රාජාධි රාජසිංහ (1779-1797) හා ශ්‍රී වික්‍රම රාජසිංහ (1797-1815) යන රජවරුන්ගේ රාජ්‍ය කාලයේ දී උඩරට විසූ රාජකීය ගෘහනිර්මාණ ශිල්පියා වේ.

“මූලාචාරී” යනු ප්‍රධාන ශිල්පියා යන අර්ථය දෙන පදයකි. “දේවේන්ද්‍ර” යන නාමය “දෙවුන්දර” යන පදයෙන් උපත ලද ඇති බවට මතයක් ඇති අතර සමහර විට ඔහු දෙවුන්දර උපුල්වන් දේවාලයේ රාජකාරී කළ පරම්පරාවකට අයත් වූ හෙයින් මේ නමින් හැඳින්වෙන්න ඇතැයි ඇතැමුන් විශ්වාස කරනු ලැබේ. ගම්පල යුගයේ අවසානයේ හා නුවර යුගයේ ලංකාවට පැමිණි බෙහෝ කාර්මික පවුල් තම කුලවල මුල් තොරතුරු සැඟවීමට ප්‍රයත්න දරා ඇති බවත් අතීතය සමග සම්බන්ධ කර, කුලයේ ආරම්භය ප්‍රබල රජුන් සමග ඈඳා ගොතා ඇති බවටත් මත ඇත.

ඒ අනුව දේවේන්ද්‍ර පරපුරේ ආරම්භය ද රුහුණේ දෙවුන්දර දේවාලයේ මුල් ආවතේව හා ඉදිකිරීම් තනතුරුවලට සම්බන්ධ කර දැක්වීමට පෙළඹේ. නමුදු “දේවේන්ද්‍ර” යනු ඔහුගේ පවුලේ නාමය බවට ද මත තිබෙන අතර දේවේන්ද්‍ර යනු ඔහුගේ මවගේ පරපුර බව එම මතයෙන් පෙනෙයි. ඒ අනුව මූලාචාරියා යනු කුසලතාවය මත ලැබූ තනතුරයි. ආනන්ද කුමාරස්වාමි මහතා දක්වන ආකාරයට මූලාචාරියා යනු කාර්මිකයන්ගේ ප්‍රධානියා වන අතර මූලාචාරියෙකු යටතේ වඩුවන් සත් දෙනෙකු සේවය කළ බව ඩොයිලිගේ උඩරට විස්තරයේ එයි.

දේවේන්ද්‍ර පත්තිරිප්පුවේ එක් කාර්මික පට්ටලයක මූලාචාරියා බව ජයදේව තිලකසිරි මහතා සඳහන් කරන අතර තෙන්නකෝන් විමලානන්ද මහතා සඳහන් කරන පරිදි කාර්මික ශිල්ප පහක් උගත් අය මූලාචාරී නම් වෙති. මැදඋයන්ගොඩ විමලකිත්ති හිමි සිය “සිංහල ආණ්ඩුව” නම් ග්‍රන්ථයේ දී සඳහන් කරන පරිදි ඔටුනු, රන්කඩු, ආභරණ, සිංහාසන යන සතර පට්ටලයේ ප්‍රධානියා මූලාචාරී වේ. රැල්ෆ් පීරිස් මහතා සිය සිංහල සමාජය කෘතියේදී මූලාචාරියා යනු ප්‍රධාන කාර්මික ශිල්පියා බවත් නවන්දන්නා කුලයේ ප්‍රධානියා බවත් දක්වා ඇත.

ලෝරිගේ ගැසටියරය (Lowery’s Gazetteer) අනුව දේවේන්ද්‍ර මූලාචාරියාගේ පෞද්ගලික නාමය “ඩිංගිත්තා අප්පුය”. ලෝරි තම ගැසටියර් ග්‍රන්ථයේ දී අරත්තන ගම යටතේ ඩිංගිත්තා අප්පු හෙවත් දේවේන්ද්‍ර මූලාචාරි පිළිබඳව විස්තර කර තිබේ.

“කන්ද උඩරට සමාජ සංවිධානය” ග්‍රන්ථයේ දී මිරැන්ඩෝ ඔබේසේකර මහතා ඔහුගේ නම “කොත්මලේ සුරේන්ද්‍ර මූලාචාරියා ලෙස” දක්වා ඇත. ජයදේව තිලකසිරි මහතා තම ශ්‍රී ලංකාවේ ශිල්පී ගම් ග්‍රන්ථයේ දක්වා ඇති පරිදි දේවේන්ද්‍රගේ පියා උඩරට කොත්මලේ මඩකුඹුරේ ශිල්පියෙකි. මව පහතරට ශිල්පී පරපුරට අයත් තැනැත්තියක වූවාය. කොත්මලේ මඩකුඹුරේ කාර්මික ශිල්පියා දෙවුන්දර පවුලකින් විවාහ වීම නිසා කාර්මික පවුල් දෙකක් එක්වී උඩරට පහතරට කලා මිශ්‍රණයක් ඇතිවී යැයි ජයදේව තිලකසිරි මහතා සඳහන් කරයි.

ජේ.බී. දිසානායක මහතා රචනා කරන ලද දෙගල්දොරුව ග්‍රන්ථයට අනුව දේවේන්ද්‍ර පරපුර දකුණු ඉන්දියාවේ සිට දෙවුන්දර උපුල්වන් දේවාලයේ රාජකාරී සඳහා ලංකාවට පැමිණ පසුව ලාංකික පවුල් සමග මිශ්‍ර වී ඇත. ජයදේව තිලකසිරි මහතාට අනුව පසු කලෙක මෙම ශිල්පී පරපුර යොදාගත් දේවේන්ද්‍ර නම හා දේවේන්ද්‍ර නාරායන නම දෙවුන්දර සිහිගන්වන අතර දිව්‍යමය බවක් ගැන ඉඟියක් ද ඒ තුළ ඇත. මැදරට ජනකතා 2 ග්‍රන්ථයේදී එච්.එම්.එස්. තුන්දෙණිය මහතා දක්වන ජනප්‍රවාදයක් ද වේ.

“ඔය දේවේන්ද්‍ර කියන කර්මාන්තකාරයගේ මුල්ම එක්කෙනා ඉන්දියාවෙන් ඇවිත් දෙවුන්දර ඉඳල තියෙනවා. එයින් පස්සේ වෙනත් පළාත්වල ඒගොල්ලන්ගේ දරු පරම්පරාව ගියාලු. ඒ හින්ද වෙනත් ඒ ගොල්ල දෙවුන්දර ගෙදර කට්ටිය දේවේන්ද්‍ර කට්ටිය කියන නමින් පෙනී හිටිය කියන එකත් තියෙනවා. ඒ කොහොම වෙතත් ඔය කට්ටිය ඉන්දියාවෙන් ඇවිත් ලංකාවෙ හිටිය ඇත්තන් එක්ක මිශ්‍ර වෙලා සිංහලයන් විදියටම හිටියා කියන එක කියන්ට පුළුවන්”

සාහිත්‍ය සඟරාව 2001 කලාපයෙහි දී සෝමතිලක මහතා දක්වන පරිදි මේ පරපුරේ පිරිස් මාතර දෙවුන්දර අවට දේවේන්ද්‍ර, දේව සුරේන්ද්‍ර යන නම් භාවිත කරනු ලබයි. දේවේන්ද්‍ර තම පරපුරු නාමය තම මවගෙන් ලබාගත් බව පෙනෙන අතර දෙවුන්දර සිටියදී පහතරට කලා ශිල්ප හැදෑරූ ඔහු කොත්මලේ අවට නවංගම ගමේදී උඩරට ශිල්ප පාරම්පරිකව පුහුණුවී ඇත. මොහුට අරත්තන ගමෙන් විවාහයක් කරදී ගම්වර ලබාදී අරත්තන ගමේ පදිංචි කරවූ බව පැරැන්නෝ සඳහන් කර තිබේ. රජ මාළිගාවේ කටයුතුවලට සහාය වූ මොහුගේ ගෝලයෙක් වූ “නාරායන ආචාරී” යන අය එහිම පදිංචි කරවාගෙන ඇත.

රාජසිංහ රජුගේ කාලයේ දී රජුගේ අණ පරදි කොත්මලේ නවංගමට පැමිණි දේවේන්ද්‍ර නවංගම කම්මලක් සාදා රජුට යුධ ආයුධ සපයා ඇති බවට ජනප්‍රවාදයේ සඳහන් වේ. එස්.පී. චාර්ල්ස් මහතා සඳහන් කරන්නේ ඔහු යටතේ ප්‍රධාන කම්මල් හතරක් පැවති බවයි. ඒවා මඩකුඹුර, තිරිවනාගොඩ, කඩදොර, තවත්ගම ප්‍රදේශවල පිහිටා තිබී ඇත. දේවේන්ද්‍ර පරපුරේ වඩාත් ප්‍රකට වූ ශිල්පියා වූ මොහුට රාජ්‍ය සේවා සදහා පහසුවෙන් යාම් ඊම් කිරීමට රජවාසලින් උඩුනුවර හන්දෙස්සේ අරත්තන ගම ලැබුණු බව “සෙංකඩගල ඉතිහාසය” කර්තෘ කරුණාතිලක මහතා සඳහන් කරයි.

එහිදී රජු තඹ හා රන් සන්නසකින් ගම්වර ලබාදුන් බව කියවේ. ඔහු මුලින්ම රාජ්‍ය සේවයට ගොස් ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවසය. මැදඋයන්ගොඩ විමලකිත්ති හිමියන්ගේ සිංහල ආණ්ඩුව ග්‍රන්ථයට අනුව කීර්ති ශ්‍රී රාජසිංහ රජු ක්‍රි:ව: 1780 දී ඔහුට නළල් පටක් හා සන්නසක් දී ඇත. ඩිංගිත්තා අප්පුට ශක වර්ශ 1703 දී (ක්‍රි:ව: 1780 දී ) කීර්ති ශ්‍රී රාජසිංහ රජු සන්නසක් දුන් බව ලෝරි ද සඳහන් කරයි. ඒ ඉඩමට “තෝරයාගේ මූලාචාරියා ද” සන්නසක් ලබාගෙන ඇති බව ලෝරි තම ගැසටියර් ග්‍රන්ථයේ සඳහන් වේ.

එමෙන්ම ඩී.බී. ධනපාල මහතා The story of Sinhalese painting නම් ස්වකීය ග්‍රන්ථයේ රාජාධි රාජසිංහ රජු හිරියාල නයිදේට හා දේවේන්ද්‍ර මූලාචාරියාට දුන් සන්නසක් ගැන දක්වා ඇත.

දේවේන්ද්‍ර මූලාචාරියාට දියණියක් හා පුතෙක් වූ අතර පුතාගේ නම අප්‍රකටය. 1815 උඩරට රාජ්‍ය බිඳවැටුණු පසු රාජ අනුග්‍රහයක් නොලැබුණ නිසා දේවේන්ද්‍ර පුතා සහ දියණිය ඇම්බැක්කේ ගමේ පදිංචියට ගොස් තිබේ. මධ්‍යකාලීන සිංහල කලා ග්‍රන්ථයට අනුව දේවේන්ද්‍ර භාවිත කළ “යකඩ රියන් ලෑල්ල” ඔහුගේ පරපුරෙන් පැවත එන “ගොඩපොළ ගල්ලද්දා” ළඟ තිබී ඇත. දිග අඟල් 31 ක් වූ එහි පැත්තක් අඟල් 24 ක් වෙයි. එය අඟල් 3 7/8, 2 7/12, 1 7/24, 2 1/48 ලෙස බෙදා ඇත. දේවේන්ද්‍ර මූලාචාරිගේ මිනිබිරියක් වූ පුංචි එතනා මංගලගමේ අයෙකු හා විවාහ වූ බව ජයදේව තිලකසිරි මහතා සඳහන් කර තිබේ. දේවේන්ද්‍ර පරපුර විවාහ ගනුදෙනු මගින් නිලගම මංගල ගම පරපුර ශිල්පීන් සමග මිශ්‍ර වී ඇත.

දේවේන්ද්‍රගේ පුතා හා දියණිය පදිංචියට ගිය ඇම්බැක්කේ ගමේ පවුල් දෙකක් වර්තමානයේත් වාසගම ලෙස “ඇම්බැක්කේ මනුවීර වික්‍රම ගෙදර” හා “ඇම්බැක්කේ හන්දෙස්සේ අරත්තන ගෙදර” යන වාසගම් භාවිතා කරනු ලැබේ. දේවේන්ද්‍ර සමග පත්තිරිප්පුවේ වැඩට හවුල් වුණු “නාරායන ආචාරිගේ” පරපුරට අයත් පිරිස් හන්දෙස්සේ හා අරත්තන ගම්වල ජීවත් වෙති. දේවේන්ද්‍රගේ ශිෂ්‍ය ශිල්පී පරම්පරා වර්තමානයේත් “ආචාරී නාරායන, දේවනාරායන” යන පරම්පරා නාම භාවිත කරන බව හඳුනාගෙන ඇත.

මහනුවර දළදා මාළිගාවේ පත්තිරිප්පුව හා ඒ අවට ඇති දිය අගල නිර්මාණය කරන ලද්දේ දේවේන්ද්‍ර මූලාචාරියා වන අතර එය ශ්‍රී වික්‍රම රාජසිංහ රජු (1789-1815) කල ඉදිකරන ලදී. පත්තිරිප්පුව ඉදිකිරීමේ කටයුතු මොහුට පැවරුන ද එහි සැලසුම නිර්මාණය කර ඇත්තේ දෙහිගම දියවඩන නිලමෙතුමා විසිනි. ඒ අනුව ඔහු පත්තිරිප්පුවේ සැලසුම කෙසෙල් පිතිවලින් සාදා රජුට පෙන්වා තිබේ. මෙම ගොඩනැගිල්ල නිර්මාණයේ දී මූලාචාරීට අරත්තන ගමේ පදිංචිව සිටි නාරායන ආචාරිගේ සහය ද ලැබී ඇත.

ඒ අනුව අද පත්තිරිප්පුව ඇති බිමේ එදා තිබූ රාජකීය මුළුතැන්ගෙය කඩා දමා මෙම ගොඩනැගිල්ල ඉදිකර තිබේ. මෙම ඉදිකිරීම්වල දී උනම්බුවේ නිලමේගේ ද සහය දේවේන්ද්‍රට ලැබී ඇත. පත්තිරිප්පුව නිර්මාණයට අවශ්‍ය දැව නාලන්ද කැලෑවෙන් රැගෙන ආ අතර පත්තිරිප්පුව දළදා මාළිගාවට යාව ඇතත් ඊට සම්බන්ධයක් නැති බව දළදා ඉතිහාසය හා සංස්කෘතිය යන ග්‍රන්ථයේ කතුවර කඹුරුගමුවේ වජිර හිමි සඳහන් කර තිබේ. මෙසේ නිර්මාණය කළ පත්තිරිප්පුවේ සිට රජු විශේෂ අවස්ථාවලදී ජනයා ඉදිරිපිට පෙනී සිට ඇත. එසේම රජු නගරයේ අලංකාරය නැරඹීමට මෙය විවේකී ස්ථානයක් කරගත් අතර විශේෂ අවස්ථාවලදී මෙහි දළදා ප්‍රදර්ශන පවත්වා ඇත.

ඔහු විසින් කරන ලද වෙනත් නිර්මාණ අතර විශිෂ්ටතම නිර්මාණයක් ලෙසට මහනුවර “මඟුල් මඩුව” හැඳින්විය හැකි අතර වර්තමානයේ පවතින මඟුල් මඩුවට පෙර මඟුල් මඩුවක් පැවතියද එය දිරාපත් වීම හෝ විදේශ ආක්‍රමණ නිසා විනාශ වී ඇත. අද දක්නට ලැබෙන මඟුල් මඩුව පැරණි මඟුල් මඩුවේ ප්‍රතිසංස්කරණයක් හෝ අලුතින් කළ නිර්මාණයක් විය හැකිය. මාරඹේ ලියූ “විදු කවි පොත” හා ප්‍රඥාලෝක හිමිගේ “පුරාණ සිව්පද” සංග්‍රහයේ එන ජන කවියක් අනුව රාජසිංහ රජු වත්මනේ ඇති මඟුල් මඩුවට ශකවර්ශ 1706 (ක්‍රි:ව 1784) දී මුල්ගල තබන විට මඟුල් මඩුවේ ප්‍රධාන ශිල්පියා වූයේ දේවේන්ද්‍ර මූලාචාරියා ය.

එහි කැටයම් කැපීමට ප්‍රධාන ලෙස හල්මිල්ල, නා, තේක්ක දැව නාලන්දෙන් ගෙනා බවට මත තිබේ. එහෙත් රාජාධි රාජසිංහ රජු දවස මඟුල් මඩුවේ වැඩ නිමකිරීමට නොහැකි වී ඇත. 1976 දී ඉංග්‍රීසීන් පහත රටට එන විටත් මඟුල් මඩුවේ වැඩ කෙරෙමින් තිබූ බව ලුවිස් වාර්තා කර තිබේ. රාජාධි රාජසිංහ රජු මියයන විටත් මඟුල් මඩුවේ වැඩ නිම නොවී පැවති බව ඩොයිලි තම සිංහලයේ ආණුඩුක්‍රම ග්‍රන්ථයේ සඳහන් කරයි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු කල මඟුල් මඩුවේ වැඩ බොහෝ දුරට නිම විය.

එහෙත් 1815 උඩරට යටත් වීමෙන් පසු 1820 පමණ වන තුරුත් මඟුල් මඩුවේ කණුවල කැටයම් කපමින් තිබූ බව ආනන්ද කුමාරස්වාමි මහතා සඳහන් කර තිබේ. ඩේව් දුටු ලංකාව ග්‍රන්ථයේ ඩේව් කියන ආකාරයට රජමාලිගාව පිටුපස ඇති ගොඩනැගිලිවලින් විශේෂ වූයේ මඟුල් මඩුවයි. මෙම මඟුල් මඩුවේ ප්‍රයෝජන රාශියක් තිබූ අතර රාජ සභාව පවත්වා ඇත්තේ ද මෙම මණ්ඩපය තුළදීය. එසේම රජකෙනෙකු මියගිය පසු අලුත් රජෙකු තෝරා ගැනීමට ඇමතීන් හා රදළයන් රැස්වී ඇත්තේ ද මෙම මඟුල් මඩුව තුළය. 1815 උඩරට ගිවිසුම අත්සන් කළේ ද මෙම ගොඩනැගිල්ලේදීය.

බෝගම්බර කිරි මුහුද හා එහි විසිතුරු අංග ද දේවේන්ද්‍ර මූලාචාරියාගේ නිර්මාණය. පත්තිරිප්පුවට සමකාලීනව මහනුවර නගරයේ අලංකාරය වැඩි කිරීමට ශ්‍රී වික්‍රම රාජසිංහ රජු කරවූ බෝගම්බර අලුත් වැව කිරිමුහුද නමින් හැඳින්විණි (පැරණි ගැමි ජනවහරයේ පවතින ආකාරයට මෙම වැවේ නම අලකොල වැව වේ. ඒ.වී. සුරවීර මහතා සංස්කරණය කළ රාජාවලිය අග එන පැරණි රාජාවලියේ පිටපතක ද එය අලකොළ වැව ලෙස හැඳින්වේ. එහෙත් එහි වඩා ප්‍රකට නම කිරි මුහුදය. එය එසේ නම් කරනු ලැබීමට හේතුව වූයේ නගරය මුලින්ම කරවීමේ දී මේ වැව පිහිටි බිමෙන් කිරි ඉබ්බෙකු මතු වීමයි. ඌ කුඩා පොකුණක දමා සිටි බව කියැවෙයි) රජුගේ අදහස අනුව ටිගොල්යාය හරහා ගලා ගිය හීන්පැන් කදුර හරස් කොට කිරිමුහුද, ඒ මැද දූපත, දූපතේ ජලතිලක මණ්ඩපය, දූපතට යන කඹ පාලම, මාළිගාව අසල උල්පැන්ගෙයි සිට වැවේ සොරොව්ව දක්වා ඇති දිය රැළි බැම්මද දේවේන්ද්‍ර ප්‍රමුඛ ශිල්පීන් මීගස්තැන්න අධිකාරම් යටතේ ඉදිකළ නිර්මාණයි. දේවේන්ද්‍ර කිරිමුහුදේ වැඩ ආරම්භ කළෙ පත්තිරිප්පුවට සමකාලීනව බව පෙනේ.

සිත්තරකු ද වූ දේවේන්ද්‍ර මූලාචාරියා විසින් කරන ලද සිතුවම් නිර්මාණ පිළිබඳව විමසා බැලීමක් කරන විට ජේ.බී. දිසානායකයන් තම සිංහල වෙහෙර විහාර නම් ග්‍රන්ථයේ දී සඳහන් කරන්නේ දෙගල්දොරුවේ බිතු සිතුවම් ඇඳි සිත්තර කණ්ඩායමේ ප්‍රධානියා මොහු බවය. ඒ සඳහා සහභාගී වූ අනෙක් සිත්තරුන් වූයේ දෙවරගම්පල සිල්වත් තැන, හිරියාලේ නයිදේ හා නිලගම පටබැන්දාය. නමුත් මේ පිළිබඳ අදහස් දක්වන එම්. සෝමතිලක මහතා පෙන්වා දෙන්නේ දෙගල්දොරුවේ සිතුවම් ඇඳි සිත්තර කණ්ඩායමේ ප්‍රධානියා නිලගම පටබැන්දා බවය. ඔහු සඳහන් කරන සිත්තර කණ්ඩායමේ දේවේන්ද්‍ර මූලාචාරියාගේ නම සඳහන් නොවේ. මහනුවර යුගයේ සිතුවම් යන ග්‍රන්ථය ලියූ එස්.පී. චාර්ල්ස් මහතා සඳහන් කරන්නේ දේවේන්ද්‍ර මූලාචාරී දෙවරගම්පල සිල්වත් තැන සමග වැඩ කළ බවයි. එසේම දෙගල්දොරුවේ චිත්‍ර ඇඳීම සම්බන්ධයෙන් රාජසිංහ රජු දේවේන්ද්‍රට හා හිරියාලේ නයිදේට දුන් වරප්‍රසාද සන්නසක් පිළිබඳව ඩී.බී. ධනපාල මහතා ද සඳහන් කර ඇත.

දෙගල්දොරුවේ ශිල්පීන් පහතරට තෙල්වත්ත, මුල්ගිරිගල චිත්‍ර ඇඳි බව චිත්‍ර ශෛලියෙන් පෙනීයන බව, “Buddhist Painting From Shrines and in Ceylon” නමැති යුනෙස්කෝ ප්‍රකාශනයේ සඳහන් වන අතර ඒ අනුව පහතරට ඉහත සඳහන් විහාරවල බුදු පිළිම, ගෘහ නිර්මාණය හා චිත්‍රවලට දේවේන්ද්‍ර මූලාචාරියා ද හවුල් වූ බව සිතිය හැකිය. නමුත් තෙල්වත්ත හා මුල්ගිරිගල සිතුවම් ශෛලිය හා දෙගල්දොරුවේ සිතුවම් ශෛලිය අතර පැහැදිලි වෙනස්කම් ඇති බව හොඳින් අධ්‍යයනය කරන්නෙකුට පෙනී යයි. එසේම කොත්මලේ කිරිවානගොඩ අම්බලම මෙන්ම කෑගල්ලට නුදුරු හෙට්ටිමුල්ලට යාව මීදෙනිය විහාරයේ බණ මඩුවද දේවේන්ද්‍ර කළ බවට මත තිබේ.

දේවේන්ද්‍ර මූලාචාරියාගේ අවසානය ඉතාමත් ශෝකාන්තජනක බව ජනප්‍රවාදයෙන් හෙළි වේ. පත්තිරිප්පුව නිරිමාණය කර දේවේන්ද්‍ර ලබන සම්මාන වරප්‍රසාද ගැන අන් අය ඊර්ෂ්‍යාකම් කළ අතර දැව කපන විට මොහුට හොරෙන් දැව කෙටි කිරීමේ කුමන්ත්‍රණයක් සිදු විය. එම නිසා පත්තිරිප්පුවේ නියම හැඩය නොලැබුණු අතර කුමන්ත්‍රණය කළ පිරිස් රජුට දන්වා සිටියේ මොහු ඕනෑකමින් දැව කෙටි කළ බවයි.

මේ අනුව පත්තිරිප්පුව නිමවූ පසු රාජ ප්‍රසාද දීමට පෙර රාජ අපහාසයට දඬුවම් ලෙස දේවේන්ද්‍රගේ මාපට ඇඟිල්ල කපා දැමීමට රජු නියම කර ඇත. රාජ වරප්‍රසාදවලට වඩා ඇඟිල්ල කැපීමෙන් පරපුරට වන නින්දාව වැළැක්වීමට පත්තිරිප්පුව නිමවූ පසු ඔහු තමාම ඉදිකළ බෝගම්බර කිරිමුහුදට පැන දිවි නසාගත් බව මධ්‍යකාලීන සිංහල කලා හා මැදරට ජනකතා යන ග්‍රන්ථ සඳහන් කරයි. මහනුවර රාජධානියේ රාජප්‍රාප්ත රාජකීයයන් තිදෙනෙකුගේම රාජකීය ගෘහ නිර්මාණ ශිල්පියා වූ දේවේන්ද්‍ර මූලාචාරි දුක්බර අවසානයකට මුහුණ දුන්න ද ඔහුගේ නිර්මාණ අදටත් කියාපාන්නේ උඩරට රාජධානියේ අභිමානයයි.

කේ. උදේනි අරුණසිරි
සංවර්ධන නිලධාරි
ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාලය
කොටුව, ගාල්ල.

Leave a comment

Comments