අද පෘථිවියේ ඉන්නේ එදා අඟහරු මත සිටි මිනිසුන්ද..?

පෘථිවියේ ජීවත් වන සියලු දෙනා පිටසක්වළින් පැමිණි ජීවීන් පිරිසක් විය හැකි යැයි කොළොම්බියානු විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් මතයක් පළ කර තිබේ. ජීවය බිහිවන්නට ඇත්තේ අඟහරු ග්‍රහයා මත විය හැකියැයි ඔවුහු අනුමාන කරති. පැන්ස්පර්මියා නමින් හැඳින්වෙන මෙම රැඩිකල්වාදී සිද්ධාන්තය මුලින්ම ඉදිරිපත් කෙරුණේ 1871 වැනි වකවානුවකය. ජීවය ග්‍රාහකයක් ලෙස පෘථිවියට පැමිණීමට පෙර අඟහරු ග්‍රහයා මත උත්පාදනය වූවක් බැව් එම සිද්ධාන්තය අනුව පැවසිණි. මෙම අනාවරණයේ කිසියම් අපූර්වත්වයක් පැවැතිය ද බොහෝ විද්‍යාඥයෝ එවැන්නක් සිදු විය හැකි බවට නිගමනය කර තිබේ. රතු ග්‍රහයා නොහොත් අඟහරු ග්‍රහයා පිහිටා ඇත්තේ පෘථිවියට සැතපුම් මිලියන 34.7ක් ඈතිනි.

ජීවය බිහිවීමට අවශ්‍ය ජලය සහ වාතය ඇතුළු සියලු සාධක එක්තරා අවධියක අඟහරු ග්‍රහයා මත තිබූ බවට එම සිද්ධාන්තයෙන් පෙන්වා දී තිබේ. කිසියම් ග්‍රාහකයක ගැටීමක් හේතුවෙන් විසරණය වූ පාෂාණ කැබලි සෞරග්‍රහ මණ්ඩලයේ ගැටීමේ ප්‍රතිඵලයක් වශයෙන් අඟහරු ග්‍රහයාගෙන් කැඩී ගිය කොටසක් පෘථිවිය මත පතිත වී එහි ජීවය උත්පාදනය වෙන්නට ඇතැයි ඔවුහු අනුමාන කරති.

වසර බිලියන හතරකට පමණ ඉහත අඟහරු ග්‍රහයා උණුසුම්ව පැවැති අතර, එහි ගංගා සහ විල් පැවතිණි. ජීවයේ පැවැත්මට සුදුසු පරිසරයක් එහි පැවතිණි. මහා උපද්‍රවයක් හේතුවෙන් එම පරිසරය විනාශ වී ජීවයක් පැවතීමට තිබූ අවකාශය විනාශ වී ගියේය. අභ්‍යවකාශයේ රුදුරු බලවේගවලට මුහුණ පෑ එය මිදුණු ග්‍රහලෝකයක් බවට පත්විය. එහි වූ යහපත් පරිසරය සූර්ය සුළඟින් ගසාගෙන ගියේය. අඟහරු ග්‍රහයා එහි තිබූ පාරිසරික තත්ත්ව තවමත් අභ්‍යවකාශයට මුදාහරිමින් සිටින බවට විද්‍යාඥයෝ විශ්වාස කරති.

සූර්යයාගෙන් නිරන්තරයෙන් හමන සූර්ය සුළඟේ ප්‍රහාරය හේතුවෙන් පරිසරයේ ඇති අණු බිඳීයාමකට ලක්වේ. අණුවල ඇති ඉලෙක්ට්‍රෝන බිඳී ගොස් ‘අයන’ බවට පත්වේ. මෙම අයන සූර්ය සුළඟ මගින් අභ්‍යවකාශයේ විසුරුවනු ලබයි. සූර්ය සුළඟින් විසිරවනු ලබන්නේ සැහැල්ලු අණුය. සූර්ය සුළඟ හමන උපරිම උන්තාංශය දක්වා ඒවාට විසිරිය හැකිය. අර්ගොන් 36 සහ අර්ගොන් 38 යන වායුවල සංයුතිය විමසා බැලීමේදී අර්ගොන් 36 විවිධ උන්නතාංශයන්හි විසිරී තිබූ බැව් හඳුනාගැනීමට හැකි විය. ඒ අනුව ගතවූ වසර බිලියන 4ක කාලය තුළ අඟහරුගේ පාරිසරික තත්ත්වයෙන් 66%ක් අභ්‍යවකාශයට මුසු වී තිබේ.

මෙම තොරතුරු අනාවරණය වූයේ නාසා ආයතනය මගින් සිදුකෙරුණු අඟහරුගේ පරිසරය සහ වාෂ්පශීලී පරිණාමය පිළිබඳ පර්යේෂණකදීය. “අපගේ නිගමනවලට අනුව පැහැදිලි වන්නේ අඟහරුගේ ජීවය පැවැතිය හැකි පරිසරය එහි රඳා ගැනීමට නොහැකිව අභ්‍යවකාශයට නෂ්ට විසිර යන්නට ඇති බවය. මෙම අබිරහස විසඳා ගැනීම සඳහා අපගේ මිනුම්දණ්ඩ වූයේ අක්‍රිය වායුවක් වන ආර්ගොන් වායුවයි” යනුවෙන් එම කණ්ඩායමේ ප්‍රධානියා වූ බෲස් ජකොව්ස්කි පවසා තිබේ.

“මොලිබ්ඩිනම් (අධිවේගී වානේ උපකරණ සෑදීමට භාවිත කරන ලෝහයක්) අධික ලෙස ඔක්සිකරණයට ලක්වීමේ ක්‍රියාවලිය අනුව ජීවයේ සම්භවයට බලපෑ සාධක පිළිබඳව හඳුනාගත හැකියි. ජීවය උත්පාදනය වූ සමයේ මොලිබ්ඩිනම් නමැති ද්‍රව්‍ය පෘථිවියේ නොතිබූ බවට නිගමනය කළ හැකියි. මන්ද වසර බිලියන 3කට පමණ පෙර පෘථිවියේ පැවතියේ ඉතා සුළු ඔක්සිජන් ප්‍රමාණයක් පමණයි. එහෙත් අඟහරු ග්‍රහයාගේ ඔක්සිජන් දැකිය හැකි වුණා. ජීවය අඟහරුගේ සිට පෘථිවියට පැමිණි බවට නිගමනය කළ හැකි බවට එයත් එක් සාධකයක්.” යනුවෙන් මේ සම්බන්ධයෙන් පර්යේෂණ ගණනක නිරත වූ ජෛවරසායන විද්‍යාඥයකු වන ස්ටීවන් බෙනර් සඳහන් කර තිබේ.

ජීවය නිර්මාණය වනුයේ ඓන්ද්‍රීය සංයෝගය තුළිනි. එහි වෙනසක් සිදුවීම සඳහා කුඩා සහයක් අවශ්‍යය. එය ආලෝකය හෝ උෂ්ණත්වය හෝ වැනි ශක්තියක් ලද විට වෙනත් තත්ත්වයකට පත්වේ. ඔක්සිකරණය වූ මොලිබ්ඩිනම් ඇතිවන්නේ එවිටය. අඟහරු පිළිබඳ සාධකය සනාථ කෙරෙන තවත් කරුණක් වනුයේ පෘථිවිය බිහි වූ සමයේ එය සම්පූර්ණයෙන්ම ජලයෙන් වටවී තිබූ අතර අඟහරු ග්‍රහයා මත වියළි ප්‍රදේශ තිබූ බවට වන සාධකයයි. පෘථිවියේ තිබූ දියර ස්වභාවය හේතුවෙන් ජීවයේ පැවැත්ම සඳහා අවශ්‍ය වන තවත් ද්‍රව්‍යයක් වන බොරෝන් නමැති ද්‍රව්‍ය නිර්මාණය වීමට අසීරුය. බොරෝන් හමුවන්නේ සම්පූර්ණයෙන්ම වියළි කලාපවලිනි. ඒ අනුව පෘථිවිය මතට උල්කාෂ්මියක් මගින් අඟහරුගේ බොරොන් පෘථිවියට පැමිණෙන්නට ඇති බවත්, එමඟින් එහි ජීවය ඇතිවන්නට ඇති බවත් ඔහු සඳහන් කර තිබේ.

වසර ගණනක් මුළුල්ලේ පවත්වන ලද පර්යේෂණවලින් බොරොන් නමැති ජීව ධාතුවේ රූපාකාරය හඳුනා ගැනීමට බෙනර් සමත් විය. පෘථිවියේ රිබොනිව්ක්ලෙයික් ඇසිඞ් නොහොත් ආර්.එන්.ඒ (සෛලවල ප්‍රෝටීන් නිෂ්පාදනය පාලනය කරන ද්‍රව්‍යයක්) ප්‍රමාණය විශාල වශයෙන් පැතිර තිබූ හෙයින් පෘථිවියේ ආරම්භක සමයේ එය මත බොරොන් පැතිරීමට බියක් දක්වන්නට ඇතැයි භූවිද්‍යාඥයෝ ප්‍රකාශ කරති. මේ හේතුවෙන් අඟහරු ග්‍රහයා මත බොරොන් බහුලව පවතින්නට ඇති බවට ඔවුහු අනුමාන කරති.

තාරකා විද්‍යාඥයකු සහ කොළොම්බියානු විශ්වවිද්‍යාලයේ තාරකා ජීවවිද්‍යා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ කලෙබ් ෂාෆ්, “පෘථිවිය මත අඟහරුගේ කොටස් සොයාගෙන තිබෙනවා. එමෙන්ම පෘථිවියේ කොටස් ද අඟහරු ග්‍රහයා මත පැවතිය හැකි බවට අපට සැක කළ හැකියි. පෘථිවියේ ඇති අඟහරුගේ කැබලි මත ජීවීන් සහිත කොටස් ඇති බවට තහවුරු කරගත හැකි වුවහොත් අප අඟහරු වැසියන් බවට විශ්වාස කළ හැකියි.” යනුවෙන් ප්‍රකාශ කර තිබේ.

පැන්ස්පර්මියා නවීන සිද්ධාන්තයක් නොවුණ ද මෑත කාලයේ තාරකා විද්‍යාඥයන් විසින් සොයා ගන්නා ලද නවීන තොරතුරු මගින් පැන්ස්පර්මියා සිද්ධාන්තයෙන් ප්‍රකාශ කෙරුණු කරුණු රැසක් තහවුරු කිරීමට සමත් වී තිබේ. කෙසේ වුවද මෙම සිද්ධාන්තය ස්ථිර කිරීමට තරම් ප්‍රබල සාධක තවමත් හමුවී නොමැති හෙයින් එය විද්‍යානුකූලව තහවුරු කිරීමට නොහැකි වී තිබේ.

“පෘථිවියේ ජීවය ආරම්භ වූයේ අඟහරු ග්‍රහයාගෙන් යන මතය විමසුමට බඳුන් කළ යුතුයි. පෘථිවි ජීවය පිටසක්වළකින් ආරම්භ වූ බවට සනාථ කළ හැකි සාධක හා සාක්ෂි ඉදිරිපත් විය යුතුයි. එසේ වුවහොත් එය නූතන විද්‍යාවට සහ ආගමික විශ්වාසවලට සුවිශේෂ බලපෑමක් විය හැකියි. එවැන්නක් සනාථ වුවහොත් එය ආගමික මූලධර්මවාදීන්ගේ විශාල පරාජයක් වේවි” යනුවෙන් සියැටල්හි වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යාඥ පීටර් වෝඞ් පෙන්වා දෙයි.

බොහෝ විද්‍යාඥයන් විශ්වාස කරනුයේ පෘථිවියේ ජීවය බිහිවන්නට ඇත්තේ වසර බිලියන 3.8කට පමණ ඉහතදී බවය. පෘථිවිය ආසන්න ග්‍රහලෝක සමඟ ඓන්ද්‍රීය හා ජීවී ද්‍රව්‍ය නිරන්තරයෙන් හුවමාරු කරගන්නා බවට පැන්ස්පර්මියා සිද්ධාන්තයට සහය දක්වන බකිංහැම් විශ්වවිද්‍යාලයේ තාරකා ජීවවිද්‍යාඥ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ සඳහන් කර තිබේ. පෘථිවි ඉහළ වායුගෝලයේ පවතින උල්කාෂ්මයන්ගෙන් නික්මුණු පොසිල කොටස් සහ කුඩා ඇල්ගී කොටස් එහි තැන්පත් වන්නට ඇත්තේ ඒ අසලින් ගමන් කෙරුණු ධූමකේතු මගින් බවට ඔහු විශ්වාස කරයි. “අතීතයේ මෙය අනුමානයක් හා හුදු සිද්ධාන්තයක් පමණක් වුවද වර්තමානයේ ඒ සම්බන්ධ සාධක හමුවෙමින් පවතී.” යනුවෙන් ඔහු සඳහන් කර තිබේ.

2015 තාරකා ජීව විද්‍යාත්මක සඟරාවට ලිපියක් සපයන මහාචාර්ය වික්‍රමසිංහ හා ඔහුගේ පර්යේෂණ කණ්ඩායම පෘථිවියට ජීවය පැමිණුන ආකාරය සම්බන්ධයෙන් තම මතය පැහැදිලි කරති.

“අප අවට මන්දාකිණියේ ඉතා කුඩා කොටසක කරන ලද නිරීක්ෂණවලට අනුව 900කට ආසන්න බාහිර ග්‍රහයන් පිළිබඳව අපට අනාවරණය කරගත හැකි වුණා. ඒ අනුව අපගේ මන්දාකිණියේ වාසයට සුදුසු ග්‍රහයන් බිලියන 140ක් පමණ තිබෙන බවට අනුමාන කළ හැකියි. මෙයින් වැඩි ප්‍රමාණයක් දීප්තියෙන් හීන සහ කුරු ග්‍රහයන් සමඟ සම්බන්ධ ග්‍රහයෝ. ඒ අනුව ජීවය පැවතිය හැකි ග්‍රහලෝක ඉතා කෙටි ආලෝක වර්ෂ ප්‍රමාණයක දුරකින් පිහිටා ඇති බවට නිගමනය කළ හැකියි.

ඒ අනුව ආසන්න දුරකින් පිහිටා ඇති මෙම ග්‍රහලෝකවලින් දුහුවිලි, සුන්බුන්, උල්කාෂ්ම, ධූමකේතු පිටකළ හැකිය. එලෙස පිටකරන ද්‍රව්‍යවල වේගය අපගේ සෞරග්‍රහමණ්ඩලයේ පවතින තාරකාවලින් පිට කෙරෙන වේගයට වඩා වැඩි වන අතර සාමාන්‍යයෙන් බහුවලයික කක්ෂවලින් ඒවා සමන්විතය. එහෙයින් ඍජුවම ග්‍රහණය කරගැනීමේ ශක්තියෙන් හීනය.

කෙසේ වුවද බහුවලයික කක්ෂයක පිහිටා තිබුණ ද සංක්‍රමික ධූමකේතු වැනි දේවලින් පිටකෙරෙන බැක්ටීරියා සහ වෛරස අන්තර්ගත අතුරු මයික්‍රෝන දුහුවිලි, අන්තර් ග්‍රහලෝක මණ්ඩලයේ ගැටීම හේතුවෙන් ඒවා පහසුවෙන් තැන්පත් විය හැකිය. එය ජීවය පැවතිය හැකි ග්‍රහලෝකවලට අහිතකර ලෙස බලපානු ඇත. සරල ලෙසින් පැවසුවහොත් ධූමකේතුවල පවතින අණු සහ ප්‍රාණී කොටස් ඒවා පසුකර යන ග්‍රහලෝකවල තැන්පත් විය හැකිය.

“පෘථිවිය අඟහරුට වඩා ජීවත් වීමට සුදුසු ග්‍රහලොවක් බැවින් අප පෘථිවියේ නැවතුණු එක හොඳයි. මන්ද අපගේ කල්පිත මුතුන්මිත්තන් අඟහරු ලොවේ ජීවත් වූවා නම් මේ කතාව පවසන්නට මේ වනවිට කිසිවකු නැතැයි” ස්ටීවන් බෙනර් පවසා තිබේ.

– ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා
ලංකාදීප පුවත්පත

Leave a comment

Comments