නැගෙනහිර ටිමෝරය ගොඩ දාන්න ගිය අපේ හෙදි නායිකාව පුෂ්පා

අග්නිදිග ආසියාවේ ස්වෛරී රාජ්‍යයක් ලෙස ටිමෝර් රාජ්‍යය හඳුන්වා දිය හැකිය. මෙම රාජ්‍යය නැගෙනහිර හා බටහිර ටිමෝරය ලෙස හඳුන්වන්නේය. මෙම රාජ්‍යය වර්ග කිලෝමීටර් 15410කින් යුක්ත වන්නේය.

නැගෙනහිර ටිමෝරය 16 වන සියවසේ පෘතුගීසින්ගේ වාස භූමියක් වූ අතර එම වාසභූමි ඉවත් කරන තෙක්ම එය පෘතුගීසි ටිමෝර් රාජ්‍යය ලෙස හැඳින්වූවේය.

නැගෙනහිර ටිමෝරය 1975 අගභාගයේදී නිදහස ලැබුවද පසුව ඉන්දුනීසියාව නැගෙනහිර ටිමෝරය අත්පත් කර ගන්නා ලදී. 1999 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ ස්වකීය අධිෂ්ඨාන පනත අනුව ඉන්දුනීසියාව නැගෙනහිර ටිමෝරය අත්හරින ලදී.

ඒ අනුව 2002 මැයි 20 වැනි දින ස්වාධීන රාජ්‍යයක් ලෙස නැගෙනහිර ටිමෝරය ප්‍රකාශයට පත් විය. ආසියාවේ රෝමානු කතෝලික රටවල් දෙකකින් එකක් ලෙස ටිමෝරය හඳුන්වනු ලැබේ. අනෙක් රට වන්නේ පිලිපීනයයි.

ඉන්දුනීසියාව සමග දස අවුරුද්දක් පුරා පැවති නිදහස් අරගලය හේතුවෙන් ලක්ෂ තුනක පමණ ජනතාවක් මිය ගියේය. මූලික් අවශ්‍යතා පවා හෝ සපුරා ගැනීමට නොහැකි වූ අතර දහස් ගණනක් අවතැන් වූහ.

මෙහි මිලියන 1.2 ජනගහනයක් වාසය කරන අතර ඔවුන් සංවර්ධනය වීම සඳහා උත්සාහ දරමින් සිටින පිරිසකි.

රටේ අධ්‍යාපනය, සෞඛ්‍ය, මංමාවත්, නිවාස, ආදී මූලික මිනිස් අවශ්‍යතාවන් සංවර්ධනය කරමින් පවතින රාජ්‍යයකි. ආසියාවේ පහළම මානව සංවර්ධනයක් පෙන්වන රටවල් අතරින් දෙවැනි ස්ථානය හිමිවන්නේද නැගෙනහිර ටිමෝරයටය.

නැගෙනහිර ටිමෝරයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම සඳහා ආරාධනා ලැබ ඇත්තේ ශ්‍රී ලංකාවටය. අප රටේ සෞඛ්‍ය සේවාව මේ වන විට විශාල දියුණුවක් ළඟා කර ගෙන තිබෙන බවත් සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස සෞඛ්‍ය සේවාව නොමි‍ලේ ලබා දීමේ වැඩපිළිවෙළ අගය කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රි ලංකාවට ආරාධනා කළේය.

සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ඉතාමත් වැදගත් අංශයක් වන හෙද සේවාව නගා සිටුවීම සඳහා කොළඹ ජාතික රෝහ‍ලේ ප්‍රධාන පුහුණු හෙද නිලධාරීනී පුෂ්පා රම්‍යා ද සොයිසා මෙනවියට ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ආරාධනා කළේ පසුගිය සතියේදීය.

එම ආරාධනාවට අනුව ඇය පසුගිය 15 වැනි දින ටිමෝර් රාජ්‍යයට යන විට සවස 2.00 පමණ විය. ගුවන් තොටු‍පොළෙන් එළියට ආ ඇයට දැක ගැනීමට හැකි වූයේ ශ්‍රි ලංකාවේ හැටේ දශකයේ තිබු වටාපිටාවය. නොදියුණු මංමාවත්, ගොඩනැගිලි, ජනශූන්‍ය වූ ප්‍රදේශ පසු කරමින් ඇය සිය නවාතැනට කැටුව ගියේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයින් විසිනි.

ඇයට නවාතැන් ගැනීමට සූදානම් කර තිබූ නවාතැන්‍පොළ පෘතුගීසි නිලධාරීන් 3000ක් පමණ නවාතැන් ගෙන තිබූණ ස්ථානයකි. ඉතාමත් අලංකාර ලෙස නිමවා තිබූ මෙම නවාතැන්‍පොළ සියලුම පහසුකම්වලින් සමන්විත විය. එහි විසිත්ත කාමරයක්, නිදන කාමරයක්, නාන කාමරයක්, මුළුතැන්ගෙයක් ඇතුළු සියලුම අංගයන්ගෙන් සමන්විතව ඇත.

ඇය මාංශ ආහාරවලින් ඈත්ව සිටින බැවින් ඇයට රාත්‍රී ආහාර ලබා ගැනීම සඳහා ඉන්දීය සම්භවයක් සහිත භෝජනාගාරයක් වෙත රැගෙන ගියේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාව නියෝජනය කරන ලාංකීය වෛද්‍යවරුන්ය.

පසු දින ඇයව කැටුව ගියේ ටිමෝරයේ ජාතික රෝහල වෙතය. එහිදී ඇයට පැවරී තිබූ රාජකාරිය වූයේ හෙද සේවාව ගුණාත්මකව නගාසිටුවිය යුත්තේ කෙසේද යන්න පිළිබඳව ටිමෝරයේ හෙද හෙදියන් දැනුවත් කිරීමය.

පුෂ්පා මෙහිදී අප හා පැවසුවේ, ටිමෝරයේ හෙද සේවාවේ යෙදී සිටින බොහෝ පිරිසකගේ ඉංග්‍රීසි දැනුම ඉතාමත් අල්පයි. ඒ නිසා මට ඔවුන්ව දැනුවත් කරමින් දේශන කරන්න වුණේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමගයි. ඒ නිසා හුඟදෙනකුට පහසුවෙන් තේරුම් ගැනීමට හැකි වුණා.

ඒ අයට හුඟාක් අවශ්‍යයි සෞඛ්‍ය සේවාව අපේ රටේ වගේම දියුණු කර ගන්න. ඒ අය ඒකට හුඟාක් උත්සාහ කරනවා. ඉංග්‍රිසි දන්න අය මගෙන් හැකි පමණ ප්‍රශ්න අහලා දැනුම දියුණු කර ගත්තා. මම ඔවුන්ට ලබා දුන් සේවාව අගය කරලා සම්මානයක් පවා පිරිනැමුවා.

ඇය කියන පරිදි දිගු කාලයක් යුද්ධය පැවතීම හේතුවෙන් සෑම අංශයක්ම නොදියුණු මට්ටමක පවතින බවය. කෙසේ නමුත් තමන්ගේ ඉල්ලකයන් කරා ගමන් කිරීමට දැඩි උත්සාහයක් හා උනන්දුවක් ඔවුන්ට තිබෙන බව ඇය පවසන්නීය.

සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ දියුණු කළයුතු තැන් බොහෝය. එහි උපදින දරුවන්ගෙන් සියයට පනහක්ම උපදින්නේ නිවෙස්වලය. එම දරුවන් ප්‍රතිශක්තිකරණය කිරිම නොකරන්නේය. ඇයගේ දේශනය තුළ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව නගාසිටුවිය යුත්තේ කෙසේද යන්න පිළිබඳව දීර්ඝ දේශනයක් කර තිබුණි. එම දේශනයට සවන් දුන් හෙද පිරිසගේ තීරණය වූයේ තම රටේ අනාගත පරපුර නිරෝගී පරපුරක් කරවීමට හැකි පමණ දායක විය යුතු හා ඒ සඳහා කටයුතුය කළයුතු යන්නය.

කෙසේ හෝ මෙම දේශනය තුළින් ඔවුන් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන නිදහස් සෞඛ්‍ය සේවාව පිළිබඳ ඉමහත් සතුටට පත් වූ අතරම ඔවුන් ද අප රට හා සමාන මට්ටමකට ඒමට කටයුතු කරන බවද මෙහිදී පවසා ඇත.

– ශ්‍රියානි විජේසිංහ
රිවිර පුවත්පත

Leave a comment

Comments