සංගමන් කන්දේ ගුහා සිතුවම් පිටසක්වළ ජීවීන්ගේද?

ශ්‍රී ලංකාවේ ආදි වාසී ජන කණ්ඩායම් පිළිබඳව විමසා බලන විට ආදිවාසීන් වෙත හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. වනය මූලික කරගනිමින් දඩයමෙන් යැපුණු මෙම ජන කොටස සංචාරක ජීවිතයකට උරුමකම් කීහ. මෙම සුවිශේෂී බව නිසාම ඔවුන්ගේ ජනාවාස ව්‍යාප්තිය, ජීවනෝපාය, අභිචාර විධි මූලික කරගනිමින් ඔවුනටම ආවේණික සංස්කෘතියක් ආදිවාසී ජන සමාජය තුළ බිහි විය.

මානව විද්‍යාඥයන්ගේ හා පර්​ෙ‌ය්ෂකයන්ගේ අවධානය ආදිවාසී ජන සමාජය කෙරෙහි යොමු කිරීමට මෙකී සාධකයන් මූලික විය. මෙම ජන කණ්ඩායම් පිළිබඳව සිදුකෙරුණු මුල් කාලීන පර්​ෙ‌ය්ෂණයන් සලකා බලන විට පර්​ෙ‌ය්ෂකයන්ගේ වැඩි අවධානය ඔවුන්ගේ අභිවාර විධි, සිරිත් විරිත් හා දඩයම පාදක කරගනිමින් සිදුවූ වග දක්නට ලැබේ. නමුත් ඔවුන් විසින් නිර්මාණය කරන ලද සිතුවම් කලාව ආදිවාසී ජන සමාජයේ තවත් සුවිශේෂ පැතිකඩක් නිරූපණය කරයි. ඉන්දියාවේ බම්බේක්කාර්, ස්පාඥයේ ලැස්කෝ හා ප්‍රංශයේ අල්ටාමීරා වැනි ස්ථානයන්හි වන ප්‍රාග් ඓතිහාසික සිතුවම් පර්​ෙ‌ය්ෂකයන්ගේ වැඩි අවධානයකට ලක්විය.

ලංකාවේ ප්‍රාථමික ශෛලියේ ගුහා චිත්‍ර පිළිබඳව අවධානය යොමු කළේ බටහිර ජාතිකයෝය. ජෝන් ස්ටීල් වැන්නන් මුල් කාලයේදී පර්වත චිත්‍ර ඇති ස්ථාන වෙත ළඟාවූයේ දහසකුත් බාධා මධ්‍යයේය. එම චිත්‍ර පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක් එකල සිදු නොවීය. ගල් ගුහාවක බිත්තියක් මත ඇඳ ඇති චිත්‍ර අතර වන සබැඳියාව පිළිබඳව මුල්කාලීන ගවේෂකයන්ගේ අවධානය යොමු නොවුණි. ගුහා බිත්ති මත ඇති චිත්‍ර පිළිබඳව පමණක් ඔවුහු වාර්තා කර තැබූහ. මේ නිසා ලෙන් සිතුවම් අධ්‍යයනය කිරීම කෙරෙහි මෙරට පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ වූයේ අඩු අවධානයකි. එය ගැඹුරු පර්​ෙ‌ය්ෂණයකට වස්තු වන විෂයයක් නොවේය යන අදහසක් ද යටත්විජිත මානසිකත්වය මගින් ඇති කර තිබිණ. ලෝකයේ සෙසු රටවල හමුවන ලෙන් චිත්‍ර හා සසඳා බලන විට මෙරටින් හමුවන ලෙන් සිතුවම් දුර්වලය යන මතයක්ද යුරෝපීයයන් විසින් ඇතිකරනු ලැබ තිබිණි.

ලංකාවේ ප්‍රාථමික ශෛලියේ ගුහා සිතුවම් වැඩි වශයෙන් වාර්තා වන්නේ දිවයිනේ නැගෙනහිර කලාපයෙනි. නමුත් ජනවාර්ගික අර්බුදය නිසා මෙම ප්‍රදේශය තුළ ගවේෂණයන් සිදු කිරීමට පර්​ෙ‌ය්ෂකයෝ අපොහොසත් වූහ. වර්තමාන සාමකාමී වාතාවරණය යටතේ එම ප්‍රදේශ යළිත් ගවේෂකයන්ට විවරව පවතී. ප්‍රාථමික සමාජ පරිසරයක දිවි ගෙවූ සමාජ ජීවියෙකු ගේ කලා කෘති මගින් ඔවුන්ගේ සමාජීය දිවියත් සන්නිවේදන ක්‍රියාවලියෙහි විවිධ මානයනුත් හඳුනා ගැනීමට ඉඩ හසර සැල​සේ. එය අතීත ප්‍රාථමික සමාජයන් ප්‍රතිනිර්මාණය කිරීමේදී වැදගත් වේ.

වර්ණ රැසක් භාවිත කරමින් තෙලි තුඩකින් සුමුදු පසුතලයක සිතුවමක් ඇඳීම මෙන් ගල් පතුරකින් රළු ගල් පසුතලයක සිතුවමක් ඇඳීම පහසු කටයුත්තක් නොවේ. නමුත් මින් වසර සිය දහස් ගණනකට පෙර මේ මිහිතලය මත පියවර තැබූ මානවයෝ තම සිතැඟි, බලාපොරොත්තු, හැඟීම් පිළිබඳව යම් ඉඟි සිය ගල් ගුහාවල බිත්ති මත සනිටුහන් කර තැබූහ. ඒ සෑම හැඩතලයකින්ම පිළිබිඹුවන්නේ ඉතිහාසයේ එක්තරා සුවිශේෂී කාලපරිච්​ෙඡ්දයක සන්නිවේදනයේ ස්වභාවයයි. නූතන මානව සන්නිවේදනයේ මුහුණුවර හැඩ ගැසීමෙහිලා මේ සෑම හැඩතලයක්ම ඉතා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන්නට ඇත. ප්‍රාථමික ශෛලියේ ගුහා සිතුවම් අධ්‍යයනය කිරීම මගින් එම කාර්යභාරයේ ස්වරූපය පිළිබඳව යම් අදහසක් වත්මන් පරපුරට ලද හැකිය.

මෙම ලෙන් චිත්‍ර පිළිබඳව විග්‍රහ කර බැලීමේදී ඒවායේ කාල නිර්ණය පිළිබඳව විද්වතුන් දක්වන අදහස්ද වැදගත් වේ. මේවායේ කාල නිර්ණයන් පිළිබඳව නිශ්චිත එකඟතාවක් මෙතෙක් විද්වතුන් අතර ඇතිවී නොමැත. P.E.P. දැරනියගල යුග තුනකට බෙදා මෙම සිතුවම් පිළිබඳව අදහස් දක්වා ඇත. ඔහු දක්වන ආකාරයට මෙම සිතුවම් පූර්ව ශිලා යුගය, මධ්‍ය ශිලා යුගය, අපර ශිලා යුගය යනුවෙන් යුග තුනකට අයත් වෙයි. D.B. නන්දදේව ද මෙම සිතුවම් පිළිබඳව කාල නිර්ණය කර තිබේ. ඔහුට අනුව මෙම සිතුවම් ප්‍රාග් ඓතිහාසික යුගය (අදින් වසර 2800 සිට 2600 ට එහා යුගය) මුල ඓතිහාසික යුගය (අදින් වසර 2600 සිට 2300 ට එහා යුගය) හා පූර්ව ඓතිහාසික යුගය (අදින් වසර 2000ට පෙර යුගය) යනුවෙන් කොටස් තුනකට බෙදේ. මෙම කාල නිර්ණයන්ට අනුව මෙම චිත්‍ර නිශ්චිත කාල පරිච්​ෙඡ්දයකට යටත් කර සාකච්ඡා කිරීම ගැටලු සහගතය. නමුත් ආදිවාසී ජන සමාජයේ සන්නිවේදන ක්‍රියාවලියේ සුවිශේෂීත්වය පිළිබඳව විමසා බැලීමට මේ රූ සටහන්වල කාල නිර්ණය බාධාවක් නොවේ.

ආදිවාසී ජනයාගේ ලෙන් සිතුවම් අදට ද ශේෂව පවතින ස්ථානයක් ලෙස සංගමන්කන්ද හඳුන්වා දිය හැකිය. මෙම ස්ථානය පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සංගමන්කන්ද ග්‍රාම නිලධාරි වසම තුළ පිහිටා ඇත. පඩිවෙට්ටුමලෛයි (පඩි කපන ලද කන්ද) ලෙස ප්‍රාදේශීය දෙමළ ජනයා මෙම ස්ථානය හඳුන්වති. පන්සල් ගල ලෙස මෙය සිංහල වහරට එක්ව ඇත. කඳුකර ලක්ෂණ සහිත ඉහත කී ප්‍රදේශය තුළ අක්කර දෙදහසකට වැඩි භූමිය පුරා විසිරී ඇති ගල්කුලු රැසකි. ඒ අතර කටාරම් කොටන ලද ගල් ගුහා ද වේ. මෙම භූමිය පුරා අතීත විහාරාරාමයක නටඹුන් විසිරී පවතී. පොතුවිල් අක්කරෙයිපත්තුව මගට දර්ශනය වන විශාල පියගැටපෙළ සමග මෙහි පුරාවස්තු විසිරීම ඇරඹේ.

මෙම පියගැටපෙළ පර්වතයේ ​කොටස් තුනක් පුරා විහිදේ. එහි පියගැට 87 ක් පමණ වෙයි. අතීතයේදී මෙම පියගැට පෙළට අත්වැලක් හෝ පියස්සක් හෝ ඉදිකර තිබූ බවට සාධක අද ද දක්නට ඇත. පියගැට පෙළට දෙපසින් ගල් තලාවේ ගල් තව් රැසක් දක්නට ලැබේ. මෙම පියගැටපෙළ දිවෙන්නේ පර්වතය මුහුනෙහි ඇති ස්තූප ගොඩනැගිල්ල අසලිනි. මෙය අද බොහෝ සෙයින් නටබුන් වී ගොසිනි. පර්වතයේ උතුරු පෙදෙස පුරා නටබුන් රැසක් විසිරී පවතී. ඒ අතර ගල්කණු, ගල් පුවරු හා ස්ථම්භ සවිකර තිබෙන්නට ඇතැයි සිතිය හැකි සිදුරු සහිත වෘත්තාකාර ගල් කැබලි ද වේ. ගල් තලාවේ නැගෙනහිර දෙසින් ස්වභාවිකව නිර්මාණය වූවා යැයි සිතිය හැකි විශාල පොකුණකි. ඒ ආසන්නයේ පර්වත ලිපියක කොටස් අද ද දක්නට ලැබේ. එය අපර බ්‍රාහ්මී අක්ෂරයෙන් ලියවුණ බව පුරාවිද්‍යා මතයයි. මෙකී සාධකයන් හේතුවෙන් සංගමන්කන්ද පුරාවිද්‍යාත්මක වැදගත්කමකින් යුතු ක්ෂේත්‍රයක් ලෙසද හඳුන්වා දිය හැකිය.

සංගමන් කන්දේ ගුහා චිත්‍ර සහිත ලෙන ස්වභාවිකවම කොටස් දෙකකට බෙදී සෑදුණකි. මෙහි එක් කොටසක සිට අනෙක් පසට ඇතුළතින් ගමන් කළ හැකි පරිදි විවරයක් ස්වභාවිකවම සෑදී තිබේ. මෙම ලෙන තුළ ප්‍රධාන වශයෙන් චිත්‍ර හමුවන ස්ථාන දෙකක් නිරීක්ෂණය කළ හැකිය. මෙම ස්ථානයෙන් පැහැදිලිව හඳුනාගත හැකි චිත්‍ර සටහන් නවයක් පමණ හමුවෙයි. සෙසු රූප සටහන් මේ වන විට විනාශ වී යමින් පවතී. අදට ශේෂව පවතින රූප සටහන් අතර මානව රූප, මානව හා සත්ව රූප, සත්ව රූප, ජ්‍යාමිතික රූප හා වෙනත් හැඩතල දක්නට ලැබෙයි.

මෙම චිත්‍ර සටහන් මගින් ආදිවාසී ජන සමාජයේ සන්නිවේදන ක්‍රමෝපායන්, ඔවුන්ගේ සංස්කෘතිකාංග, ආගමික විශ්වාස ආදී කරුණු නිරූපණය වෙයි. වැදි ජන සමාජයේ පාරම්පරික ව්‍යවහාරයන් ඇසුරින් ඒවායින් ඉඟිවන දෑ පිළිබඳව යම් අදහසක් සහ අවබෝධයක් ලද හැකිය. සංගමන් කන්දෙන් හමුවන මානව රූපය පිළිබඳව සලකා බැලුවහොත් ඉන් එකළ ජනයාගේ අභිචාර විධි ආදිය පිළිබඳව අදහසක් ලබාගත හැකි වෙයි. (අංක 01 රූප සටහන) මෙම සටහනෙහි දැක්වෙන තැනැත්තා දෑත් දෙපසට විහිදමින් කිසියම් නර්තනයක යෙදෙන බවක් දක්නට ලැබේ. වැදි ජනයා සිය පුද පූජා පැවැත්වීමේදී නැටුම් එහි ප්‍රධාන අංගයක් විය. ආවේශ වීම ඔවුන්ගේ නැටුම්වල ප්‍රධාන ලක්ෂණයකි. මෙහිදී පයෙන් පයට පියවර මාරු කරමින් විළුඹෙන් පොළොවට තට්ටු කරමින් අඩ කවයක ආකාරයෙන් දකුණට හා වමට හැරෙමින් නර්තනයේ යෙදීම ස්වභාවයයි. මෙම රූපසටහන මගින් මෙබඳු නර්තනයක් නිරූපණය වෙතැයි සිතිය හැකිය. නැටුම් සඳහා ඔවුන් යොදා ගන්නේ පිරිසේ සිටින යම් විශේෂිත පුද්ගලයෙකි. කිරි කොරහා නැටීම වැනි අවස්ථාවක තමා දුටු දෙයක් හෝ තම අත්දැකීමක් ඇතැම් විට මෙලෙස සිතුවම් කර තබන්නට ඇත.

මෙම රූප සටහන මගින් ආදිවාසී සමාජයේ එකල පැවති ස්වරූපය පිළිබඳව ද යම් අදහසක් ගම්‍ය වෙයි. ඔවුන් කා බී ප්‍රීතියෙන් නැටුම් ගැයුම් පවත්වන අවස්ථාවක් මෙම මානව රූපයෙන් නිරූපණය වේ යැයි ද අදහස් කළ හැකිය. එසේ ප්‍රීතිමත්ව දිවි ගෙවීමට නම් මෙම ප්‍රදේශය තුළ මනා දේශගුණික තත්ත්වයක් හා ආහාර සපයා ගැනීමේ පහසුවක් තිබෙන්නට ඇත. මෙම සනීපදායක හිතකර පරිසරය පසුකාලීනව මෙහි විහාර ආරාම සංකීර්ණයක් බිහිවන්නට ද පසුබිම් වන්නට ඇත.

මානව හා සත්ව රූප සම්මිශ්‍රිතව යෙදෙන රූපසටහනක්ද සංගමන්කන්දේ ගුහා චිත්‍ර අතර වෙයි. (අංක 02 රූපසටහන) ඇතෙක් හෝ අලියෙක් හෝ සමග සිටින මිනිස් රුවක් මින් නිරූපණය වෙයි. මෙහි ඇතා සහ මානව රූපය ඉතා පැහැදිලිව නිරූපණය කර තිබේ. ගල් පසුබිමක මෙම ඇතා සහ මිනිස් රුව ඉතා පැහැදිලිව නිරූපණය කර ඇති ආකාරය අදට ද දක්නට ලැබේ.

මෙම සිතුවම මගින් වම්පසට ගමන් කරන ඇතෙකු පිට නැගි මානව රූපයක් නිරූපණය වෙයි. අසෙකු පිට යන යුරෝපිකයෙකු දුටු ආදිවාසී මානවයෙක් පිහිල්ලගොඩ ගල් ගෙයි ඇඳි සිතුවමක් පිළිබඳව සෙලිග්මාන් සිය වැද්දෝ කෘතියෙහි වාර්තා කරයි. ඒ අනුව සලකා බලන විට ඇතෙකු පිට නැගි පුද්ගලයෙක් දුටු ආදිවාසියෙක් එය මෙසේ සිතුවමට නැගුවා විය හැකිය. ලංකාවේ ආදිවාසී ජනයා අලි ඇතුන් හීලෑ කරගත් බවට සාක්ෂි හමු නොවේ. නමුත් සංගමන්කන්දේ මෙම ස්ථානය අවට අදටත් අලි ගැවසෙති. නිදැල්ලේ සැරිසරන අලි ඇතුන් අල්ලාගෙන මෙරට රාජ්‍ය අවශ්‍යතාවන්ට හා වෙ​ෙළඳ කටයුතුවලට රැගෙන ගිය වගට තොරතුරු ඉතිහාසයෙහි සඳහන් වෙයි. සංගමන්කන්ද අවට ස්වභාවික පරිසරයෙන් අල්ලාගත් ඇතෙකු හීලෑකර රැගෙන යන ආකාරය දකින ආදිවාසියෙක් එය මෙලෙස සටහන් කර තබන්නට ඇත.

ඇතුන් සහිතව පෙරහර පැවැත්වීමද මෙරට සංස්කෘතියෙහි දක්නට ලැබෙන සුවිශේෂී අංගයකි. එවන් පෙරහරක ඇතුන් පිට යන්නකු දකින ආදිවාසියෙක් එය මෙලෙස සටහන් කර තබන්නට ඇතැයි පැවසුවහොත් එයද බැහැර කළ නොහැකි මතයකි. එවන් අවස්ථාවක් මෙමගින් නිරූපණය වන්නේ නම් එමගින් වැදි ජනයාගේ අභ්‍යන්තර සංක්‍රමණය පිළිබඳ අදහසක් ද ඉන් ඉස්මතු වෙයි.

සංගමන්කන්ද එක් පසකින් සීමා වන්නේ මුහුදු වෙරළෙනි. අවට ඇත්තේ වන ගහනයයි. මෙම නිසා සංගමන්කන්ද අවට පරිසරයේ අලි ඇතුන් සහිත පෙරහරක් පවත්වන්නට ඇතැයි සිතිය නොහැක. යම් කටයුත්තකට සිය වාස භූමියෙන් බැහැරව යන ආදිවාසියෙක් තමා දුටු දෙය යළි පැමිණ මෙසේ සිතුවම් ගත කරන්නට ඇත.

ලෙන් සිතුවම් අතර හමුවන මානව හා සත්ව සම්මිශ්‍රණයෙන් යුතු රූප පිළිබඳව විවිධ මත ඉදිරිපත්ව තිබේ. සතුන්ගේ සිරුර මත ඇති මානව රූප මගින් එම සතුන් දඩයම් කරන ආකාරය නිරූපණය කෙරෙන බව ඉන් එක් අදහසකි. සතුන්ට ඔබ්බෙන් සිටින මිනිසුන් ද්විමාන තලයක දැක්වීමේදී මෙබඳු අයුරින් සිතුවම් කළ බව තවත් අදහසකි. මේ නිසා සංගමන්කන්දේ දක්නට ලැබෙන මෙම රූපය මගින් ඇතෙක් හා ඇතාට ඔබ්බෙන් සිටින මිනිසෙක් නිරූපණය වීම හෝ ඇතාට පහරදෙන මිනිසෙක් නිරූපණය වන්න් යැයි හෝ සැලකිය හැකිය. මෙම සිතුවම පිළිබඳව විවිධ මත පළකළ හැකි වුවද මෙහි ඇති සුවිශේෂී බව වන්නේ එය ඉතා පැහැදිලි අයුරින් නිරූපණය කර තිබීමයි.

සංගමන්කන්ද ගුහා සිතුවම් ​අතර වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ සත්ත්ව රූපයි. (අංක 03, 04, 05, 06 රූප සටහන්) මෙම රූප සටහන් අතරින් වැඩි ප්‍රමාණයක අලියා හෝ ඇතා හෝ නිරූපණය කර තිබේ. මෙම සත්ත්ව රූප අතරින් 03 රූපය සුවිශේෂීය. එමගින් අලියෙක් (ඉහළ) හා ඇතෙක් (පහළ) ලෙස සතුන් දෙදෙනෙක් සිතුවම් කර ඇත. එම සතුන් දෙදෙනා මෙහි දක්වා ඇත්තේ එකිනෙකට සම්බන්ධ ලෙසිනි. නමුත් එය ඔවුන්ගේ ලිංගික සබඳතා පවත්වන අවස්ථාවක් නොවේ. මෙම සිතුවමෙහි වන තවත් සුවිශේෂීතාවක් වන්නේ සෙසු රූප හා සසඳා බලන විට මෙම රූප තරමක් සියුම් රේඛා වලින් ඇඳ තිබීමයි. මේ අනුව ක්ෂේත්‍රය තුළ හමුවන සිතුවම් එකම අයෙකුගේ නිර්මාණ නොව සමූහයක් විසින් අඳින ලද ඒවා බව සිතිය හැකිය. ඇතැම් විට එය පරම්පරා දෙකක හෝ කිහිපයක හෝ නිර්මාණාත්මක ලක්ෂණ පිළිබිඹු කරන ලෙන් සිතුවම් විය හැකිය. තමා අවට පරිසරයේ වෙසෙන සතුන් මෙලෙස සිය වාසස්ථානයේ ශෛලමය බිත්තිය මත ඔවුන් සටහන් කර තබන්නට ඇත. මෙලෙස අලි ඇතුන් විශේෂ අවධානයකට පාත්‍ර වූයේ ඔවුන් ආදිවාසී ජන ජීවිතයට තර්ජනයක් වූ නිසා විය හැකිය.

මෙම ගුහා සිතුවම් අතර හමුවන 04 සහ 05 රූප මගින් අලියෙකුගේ හෝ ඇතෙකුගේ හෝ රූප නිරූපණය කර ඇත. 4 වන රූපයේ දකුණු පසට හැරී ඇති අලියෙකුගේ රුවක් සිතුවම් කර ඇත. 05 වන රූපය මගින් වම් පසට හැරී සිටින අලියෙකුගේ රුවක් දක්නට ලැබෙයි. 05 වන රුවෙහි සිටින අලියාගේ වලිගය නිරූපණය කිරීමේදී සුවි​ශේෂී අවධානයක් යොමුකර ඇත. 04 වන රූපයේ ඇති සුවිශේෂීත්වය වන්නේ එය සෙසු රූප හා සසඳා බලන විට යම් අසම්පූර්ණ ස්වභාවයක් දක්නට ලැබීමයි. මෙම සුවිශේෂී බව එය අඳින ලද තැනැත්තාට අනන්‍ය වූ ස්වරූපයක් ලෙස හඳුනාගත හැකිය.

සංගමන්කන්ද ලෙන් සිතුවම් අතර හමුවන තවත් සුවිශේෂී ලෙන් සිතුවමක් වන්නේ ඇත් හෝ අලි හෝ රූප වලින් වෙනස් වූ චිත්‍ර සටහනයි. (අංක 06 රූපය) ඉදිරියට දික්වූ අං යුගලයක් වැනි යමක් සිතුවමෙහි දැක්නට ලැබේ. තමන් දඩයම් කරන්නට යෙදුණු මුවා, ගෝනා වැනි සත්ත්ව කාණ්ඩයන් හි රූ සටහන් මෙලෙස සිය ගුහා බිත්ති මත ආදිවාසීන් සටහන් කරන්නට ඇත. මෙම සිතුවම ඔවුන් දඩයම් කළ සතෙකුගේ රුවක් ලෙස හඳුනා ගත හැකිය.

ආදිවාසී ලෙන් සිතුවම් අතර හමුවන සෙසු සටහන් ජ්‍යාමිතික හැඩතලය. (අංක 07 සහ 08 රූප) මෙහි අංක 07 රූප සටහන මගින් සිහින් ඊ හිසක ස්වරූපයක් දක්නට ලැබෙයි. එය ශෛලමය බිත්තියේ පහළ සිට ඉහළට යොමුවූවකි. අංක 08 රුව මගින් දැක්වෙන ඊ හිස ඉහත සඳහන් ඊ හිසට වඩා පුළුල් රේඛාවකින් ඇඳි ශෛලමය බිත්තියේ පහළ දෙසට යොමු වූවකි. මෙම සටහන් මගින් ඔවුන් භාවිත කළ ආයුධ එනම් හෙල්ල හා ඊතලය වැනි දේ නිරූපණය කරන්නට ඇත. ආදිවාසී ජන සමාජය තුළ ඊ හිසක සලකුණ සිය අයිතිය අන් අයට හැඟවීම පිණිසද යොදා ගැනිණ. මෙම රූපසටහන් මගින් ඇතැම් විට එවැන්නක් සන්නිවේදනය වූවා විය හැකිය.

කවාකාර හැඩතලයක්ද මෙම ගුහා චිත්‍ර අතර දක්නට ලැබෙයි. (අංක 09 රූපය) එය කොටස්වලට බෙදන ලද වෘත්තය රුවක් ලෙස හඳුනාගත හැකිය. එය ඔවුන් පරිහරණය කරන ලද මලු දෙම ලෙසද අදහස් කළ හැකිය. ආදිවාසී ජනයා බුලත් පුවක් වැනි දේද බහාලීමට මෙම මලු දෙම යොදා ගත්හ. වර්තමානය වන විට මෙම සිතුවම ඇඳ ඇති ශෛලමය බිත්තියේ තෙත සහිත ස්වරූපය හේතුවෙන් එහි ස්වරූපය නිවැරදිවම නිශ්චය කිරීම අපහසුය.

ප්‍රාථමික ශෛලියේ ගුහා චිත්‍ර පිළිබඳව විමසා බලන විට ඒවා ඇඳීම සඳහා භාවිත කරන ලද ප්‍රධාන ක්‍රම දෙකක් දක්නට ලැබේ. එනම් ඇඳීම හා සීරීමය. සංගමන්කන්දේ ගුහා චිත්‍ර නිර්මාණය සඳහා ඇඳීමේ ක්‍රමවේදය යොදාගෙන ඇත. එය මෙරට ප්‍රාථමික ශෛලි​ෙය් ගුහා චිත්‍ර සඳහා වැඩි වශයෙන්ම භාවිත කර ඇති ක්‍රමවේදයයි. ගල් තලාවක් මත චිත්‍ර ඇඳීම පූර්ව සූදානමකින් කළ යුත්තකි. ඊට පූර්ණ අවධානයක් සහ මනා සංයමයක්ද අවශ්‍ය වෙයි. සංගමන්කන්දේ චිත්‍ර සටහන් විමසා බැලීමේදී මෙකී ලක්ෂණ මෙම චිත්‍ර මගින් විශද වෙයි. මෙහි මානව රූප හා සත්ව රූප ඉතා පැහැදිලිව නිරූපණය කර තිබීම ඊට උදාහරණ සපයයි.

මෙම සිතුවම් සංසන්දනාත්මකව විමසා බැලීමේදී ඒවා අතැඟිලි උපයෝගීකරගෙන අඳින ලද බවක් දක්නට ලැබේ. මෙහි දැක්වෙන සිහින් ඊ හිස සහිත රුව (අංක 07 රූපය) ඇඟිල්ලක තවරා ගත් අළු වැනි මාධ්‍යයක් භාවිත කරමින් අඳින්නට ඇත. මෙම සටහනෙහි ඇත්තේ සිහින් රේඛාමය ස්වරූපයකි. මෙහි දැක්වෙන පුළුල් රේඛාවක් ලෙස විහිදෙන ඊ හිස සහිත රුව (අංක 08 රූපය) අත්ලෙහි තවරාගත් මාධ්‍යයක් භාවිත කරමින් සටහන් කර තිබේ. ඇතැම් විට එය හෙල්ලක ස්වරූපය හා ඊතලයක ස්වරූපය අතර වෙනස දැක්වීමට ආදිවාසීන් ගත් උත්සාහය විය හැකිය. මෙම චිත්‍ර සටහන් මගින් ක්ෂේත්‍ර ගැඹුර පිළිබඳව යම් අදහසක් ඉදිරිපත් කරනු ලැබීමටද ආදිවාසීන් උත්සාහ දරා ඇත. මෙහි දැක්වෙන සත්ත්ව රූප අතරින් අංක 03 රූපය මගින් එකිනෙකාට ආසන්නයේ සිටින සතුන් දෙදෙනෙක් ද්විමාන රළු තලයක නිරූපණය කර ඇත. මෙහිලා එක් සතෙකුට ඔබ්බෙන් අනෙක් සත්ත්වයා සිටින බව නිරූපණය කිරීමට උත්සාහ දරා ඇත.

මෙම චිත්‍ර සටහන් සියල්ල පිළිබඳව විමසා බලන විට ඒවායින් හෙළිවන සන්නිවේදනාර්ථ කිහිපයක්ම හඳුනා ගත හැකිය. මෙම සටහන් එම යුගයේ විසූ මානවයින්ගේ අව්‍යාජ නිර්මාණයන්ය. ඔවුන් තමා අවට දක්නට ඇති දෑ සිය අත්දැකීම් මෙලෙස චිත්‍රයට නැගීය. එබැවින් මෙම ගුහා සිතුවම් මෙරට එක් කාලසීමාවක විසූ ජනකොට්ඨාසයක සමාජීය තතු විවර කරන ප්‍රකාශන ලෙස හඳුනාගත හැකිය. මේවා මගින් හෙළිවන්නේ ප්‍රාථමික කුරුටු චිත්‍ර කලාවක ආරම්භයයි. එමගින් ආදි මානවයා සතු සන්නිවේදන ශක්‍යතාව විවරණය වෙයි. එබැවින් සංගමන්කන්දෙන් හමුවන මෙම ආදිවාසී චිත්‍ර සටහන් සන්නිවේදනය අද දක්වා වර්ධනය වීමේ ඓතිහාසික ගමන් මගේ සුවිශේෂී කාල පරිච්ඡේදයක් නියෝජනය කරයි. එමෙන්ම මෙම චිත්‍ර එක් පරම්පරාවක කර්තෘත්වයකට යටත් කළ නොහැකි නිර්මාණයන්ය. ඒවා ආදිවාසීන්ගේ මුතුන්මිත්තන් සහ ඔවුන්ගේ දරු පරපුරෙහි නිර්ව්‍යාජ හැඟීම් සමුදායේ සංකේතාර්ථයන්ය. ඔවුන්ගේ ජීවන තතු පිළිබිඹු කරන සංකීර්ණ ප්‍රකාශනයන්ය. එබැවින් මෙරට සන්නිවේදන ක්‍රියාදාමයේ මුල් කාලීන ප්‍රවණතා සහ ශ්‍රී ලාංකීය චිත්‍ර කලාවේ දේශීය ලකුණු සොයා යන්නෙකුට සංගමන්කන්දේ හමුවන චිත්‍ර සටහන් වඩා වැදගත් වෙයි.

සටහන හා ඡායාරූප දුමින්ද ජයවර්ධන
උපුටා ගැනීම මවුබිම පුවත්පත

Leave a comment

Comments