ගංජාවලට ගොදුරු වුණු තරුණයකුගේ කථාව මෙන්න

ලංකාවේ පොලිස් වාර්තා අනුව ගංජා හෙවත් මරිජුවානා (කැනබීස්) පාවිච්චිය වේගයෙන් ඉහළ යමින් තිබෙනවා. මීට ප්‍රධානම හේතුවක් වන්නේ ගංජා හෙවත් කැනබිස් ගැන තිබෙන මිත්‍යාවිශ්වාසයි. අපි මේ මිත්‍යාවිශ්වාස කිහිපයක් බලමු. ලිංගික ශක්තිය වැඩිකිරීම, කෑම රුචිය වැඩි වීම සහ ඇඟ ශක්තිමත් වීම, පිරිමින්ගේ ක්ෂණික මෝචනයට හොඳ ප්‍රතිකාරයක් සේ සිතීම හා පුරාණයේ සිට ආයුර්වේද ඖෂධයක් ලෙස භාවිතා කර තිබීම. නමුත් බොහෝ වෛද්‍ය විද්‍යාත්මක සාක්ෂිවලින් පෙනී යන්නේ මේ සියල්ල මිත්‍යාවක් බවයි. සැබැවින්ම ගංජා තහනම් උත්තේජකයක් විදිහට වර්ග කර තිබෙනවා. ලංකාවේ මෙම ගංජා පැළෑටිය නොයෙකුත් ප්‍රදේශවල රහසිගතව වගා කරන නමුත් මෙම ගංජා අද ලංකාවට වැඩිපුර එන්නේ ඉන්දියාවෙන්. පසුගිය වර්ෂයේ ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් හොරෙන් ගෙනෙන මත්ද්‍රව්‍ය සමඟ ශ්‍රී ලාංකීයන් 126 දෙනෙකු හා ඉන්දීය ජාතිකයන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා. මේ වර්ෂයේදී දැනටමත් ශ්‍රී ලංකීයන් 49 දෙනෙකු මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේදී හසුවී අත්අඩංගුවට ගෙන ඇත. ඉන්දියාවේ මෙම ගංජා පැළෑටිය වැඩිපුරම වගා කරනුයේ ආන්ද්‍රා සහ ඕදිෂාන් ප්‍රදේශවලයි. ඉන්දියාවේ නිපදවන ගංජාවලින් 80% නිපදවන්නේ මේ ප්‍රදේශවලයි.

මරිජුවානා හෙවත් ගංජා පිළිබඳ බටහිර රටවල ආකල්ප මෙය ව්‍යාප්ත වීමට තවත් හේතුවකි. අ‍මෙරිකාවේ ප්‍රාන්ත 23ක ආයුර්වේද ප්‍රතිකාරයක් ලෙස මෙය අනුමත කර තිබෙනවා. අද වනවිට ගංජා ඖෂධයක් ලෙස නිත්‍යනුකූලව ලියාපදිංචි කිරීමට අ‍මෙරිකාව මානබලමින් සිටිනවා. 1961 අන්තරාදායක ඖෂධ පිළිබඳ ලෝක සමුළුව ගංජා නැමති මෙම මත්ද්‍රව්‍ය නායනක මත්ද්‍රව්‍යයක් ලෙස විශාල විප්ලවයක් ඇති කළා. මෙම සමුළුවෙන් පසු ඉන්දියාවේ අවුරුදු 25කට ගංජා හෙවත් මරිජුවානා තහනම් ඖෂධයක් බවට ප්‍රකාශ කළා නමුත් මෙම නීතිය ඇමරිකාවේ බළපෑම නිසා 1985 දී ලිහිල් කරනු ලැබුවා. මෙම ලිහිල් කිරීම නිසා ඉන්දියාව තුළ ගංජා භාවිතය ඉහළ ගියා.

මරිජුවානා හෙවත් ගංජාවලට ගොදුරු වුණු තරුණයකුගේ කථාව

එදා බදාදා දිනයක්. ඇය රෝහල් සායනයට යොමු වෙලා හිටියේ. හමුදාවේ සිටින තම පුතා ගැන කතා කරන්න. ඇගේ මුහුණේ දුක, පීඩනය හා පරාජිත බව ගැබ්වෙලා තිබුණා. ඇය මෙහෙම කිව්වා.

“Docter මම ආවේ මම ගැන කතා කරන්න නෙමෙයි. මගේ සැමියා නැතිවෙලා දැන් අවුරුදු 5කට වැඩියි. මට ඉන්නේ එකම දරුවයි. ඔහු හමුදාවේ කපිතාන්වරයෙක්. ඔහු විවාහ වෙලා අවුරුදු 5ක දරුවෙකුත් ඉන්නවා. පුතයි, ලේලියි අපි කවුරුත් ජීවත් වෙන්නේ එකම ගෙදර. දැන් මාස 5ක් පමණ වෙනවා පුතා පිළිවෙළකට රස්සාවට යන්නෙත් නෑ. නිතරම කාලය ගත කරන්නෙ පුදුම කම්මැලි කමකින්. නිතරම නිදා ගන්නවා, සමහර වෙලාවට තනියම හිනා වෙනවා තනියම කතා කරන ස්වාභවයකුත් දකින්න ලැබෙනවා. කිසිම හේතුවක් නැතුව බිරිඳත් එක්කත් රණ්ඩු වෙනවා. මොකක් හරි ලොකු ගැටලුවක් තියෙනවා. ඔහු කිසිම දෙයක් මට කියන්නේ නෑ. මෙහෙම ගියොත් ඔහුගේ රස්සාවත් නැති වෙලා යයි. මම ඩොක්ටර් කෙනෙක් ළඟට ගෙනියන්න පුදුම උත්සාහයක් ගත්තේ. ඔහු කියනවා “මට පිස්සු නැහැ අම්මට පිස්සු නම් ගිහින් බෙහෙත් ගන්න කියලා.”

තම පුතා සායනයට ගෙන්වා ගැනීමේ අපහසුව ඇය එසේ පැවසීය. ඔහුට සායනයට පැමිණෙන ලෙස විශේෂ ලිපියක් අප මව තුළින් ඔහුට ඉදිරිපත් කළේය. මෙහෙම පැමිණි මේ හමුදා නිලධාරියා ඔහුගේ කතාව මෙහෙම අපට පැවසුවා.

“Doctor මේක අම්මට කියන්න එපා. අම්මවත් මගේ බිරියවත් මේ ගැන දන්නේ නැහැ. මම ගංජා බොනවා. දැන් මේ පුරුද්ද අවුරුදු 4කට වැඩියි. මේක අතහැරගන්න හරිම අමාරුයි. මට දැන් කිසිම වැඩක් කරන්න හිතෙන්නේ නෑ. ඇඟට මහ කම්මැලි මූසල ගතියක් දැනනෙනවා. හැමදාම ගංජා බොන්න හිතෙනවා. නොබී හිටියොත් කිසිම වැඩක් කරන්න බැහැ. සමහර දවසට ඇඟපත රිදෙනවා. නින්ද යන්නෙත් නෑ. නිතරම හිතේ තියෙන්නේ ඊළඟට ගංජා ගන්න වෙලාව ගැනයි.”

කොහොමද ඔබ මේකට යොමු වුණේ?

“ඔව් ඒකත් හරිම ලස්සන කතාවක්. මගේ යාළුවෝ හුඟ දෙනෙක් කිව්වා කැනබීස් ගත්තම හුඟක් වෙලාවක් හොඳට ලිංගිකව එකතු වෙන්න පුළුවන් කියලා. අපේ යාළුවෝ හුඟක් දෙනා කැනබීස්වලට පුරුදු වුණේ මේ විශ්වාසයක් සමඟ. ඒත් අද මට තියෙන ප්‍රශ්නය Sex නෙමෙයි. මට හිතෙනවා මගේ මුළු ජීවිතේම අවුල් වෙලා කියලා.”

ඔබේ මව කියනවා ඔබ තනියම හිනා වෙනවා, කතා කරනවා කියලා. ඔබට කවුරු හරි කතා කරනවා වගේ නැත්නම් කවුරු හරි පාලනය කරනවා වගේ යමක් දැනෙනවාද?

“ඔව් මට එහෙම දැනෙනවා. සමහර වෙලාවට වටේ ඉන්න අය මට විරුද්ධව කුමන්ත්‍රණය කරනවා කියලා මට දැනෙනවා. මාව පාලනය කරනවා වගේ මට දැනෙනවා. තවත් වෙලාවකට කීපදෙනෙක් මම ගැන කතා වෙනවා වගේ මට ඇහෙනවා. ඒත් හැරිලා බැලූවම කවුරුත් නෑ.”

ලංකාවේ වාර්තාවෙන විදියට ගංජාවලට ඇබ්බැහි වී සිටින්නේ ළමා වියේ සහ ගැටවර වියේ පසුවන අයයි. මෙම බොහෝ දෙනෙක් අවුරුදු 11ත් 16ත් අතර සිටින අයයි. මේ අය දරුණු විදියට ගංජාවලට ඇබ්බැහි වෙන්නේ අවුරුදු 16ත් 25ත් අතරය. මෙම තත්ත්වය ඉතාම භයානක ප්‍රවණතාවයක් ලෙස හඳුනාගන්න පුළුවන්. අවුරුදු 17ට ප්‍රථම ගංජා හෝ කැනබීස්වලට ඇබ්බැහි වන දරුවන්ගේ මොළයේ බුද්ධි වර්ධනය පාලනය කරන කොටසට හානිවන බව විද්‍යාඥයන් විසින් සොයාගෙන ඇත. (pre. Frontal cortex) ඒවගේම මොළයේ මස්තිෂ්කයේ (Cortical gray matter) පරිමාව අඩුවන බවද සොයාගෙන ඇත. මීටත් වඩාම භයානක දේ නම් හීන්නෝන්මාදය (Schizophrenia) නැමැති මානසික රෝගයට ද ගොදුරු වීමයි.

ගංජාවලට පුරුදු වූ අයගෙන් 75% පමණ දුම්වැටිවලට ද ඇබ්බැහි වූ අය වේ. මේ දෙකටම ඇබ්බැහි වූ විට මින් ගැලවීමද අපහසුය. මීට හේතුව ඒවා නැවැත් වූ විට ඇති වන ශාරීරික අපහසුතාවයයි.

කැනබීස් ලිංගික උත්තේජකයක් ලෙස ඇති ප්‍රචාරය මහත් මිත්‍යාවකි. මෙය සැබවින්ම ලිංගික උත්තේජකයක් නොවේ. කැනබීස්වලින් මත්වූවෙකුට දැනෙන්නේ සැබෑ ලිංගික ආස්වාදයක් නොව ලිංගික කාර්යයේදී කාලය පිළිබඳ නොදැනීමයි. එමෙන්ම දිගටම කැනබීස් ගන්නා පුද්ගලයෙකුගේ ශුක්‍රාණුවලට හානි සිදුවේ. එමගින් එම පුද්ගලයාට දරුවෙක් සෑදීමේ ඇති ලිංගික ශක්තිය හීන වී යයි.

මේ භයානක උවදුරුවලින් දරුවන් බේරා ගැනීමට රජයට නිශ්චිත හා පැහැදිලි ක්‍රමවේදයක් ඇති බව නොපෙනේ. පාසල, පවුල සහ ප්‍රජාව මේ උවදුරෙන් ගැලවීමේ විද්‍යාත්මක ක්‍රමවේද ගැන නිසිලෙස දැනුවත් වීම අවශ්‍ය වේ. මෙම වැඩසටහන් නිර්මාණය කිරීමේදී ඒ පිළිබඳව ප්‍රායෝගික දැනුමක් ඇති විද්වතුන් සම්බන්ධ කරගැනීම ඉතා වැදගත් වේ. මේ පිළිබඳ දැනුමක් නැති දේශපාලන හෙන්චයියන් හෝ යම් වැටුපක් බලාගෙන වැඩ කරන එවැනි පුද්ගලයින්ට කළහැකි කාර්යයක් නොවේ. මෙය අතිගරු ජනාධිපතිතුමාගේ අවධානයට ලක්විය යුතු අතිවිශේෂ කරුණකි.

Random Video:

Leave a comment

Comments