දියවැඩියාව නිසා අැතිවන ලිංගික බෙලහීනතාවය හා තවත් අතුරු ප්‍රතිඵල..

දියවැඩියාව හෙවත් මධුමේහය මිනිස්‌ සිරුරේ හිසේ සිට දෙපතුළ දක්‌වා ශරීරයේ සෑම අංගයකට ම හානි පමුණුවයි. කටට මධුර රස දැනීම, අතපය හිරි වැටීම, දැවිල්ල, උගුර තොල කට වේළීම, පිපාසය, අලසබව ශරීරගතව මධුමේහය වැළඳී ඇති බවට කරනු ලබන ඉඟි වේ.

මේ සඳහා බලපාන හේතු අතර ප්‍රධාන වන්නේ අතපය නොවෙහෙසා සිටීම ද අධික නින්ද, කිරි, මස්‌ මාංශ හොදි වර්ග, කිරි වැඩිපුර ආහාරයට එක්‌කර ගැනීම නිරතුරුව අලුත් සහලේ බත් අනුභවය පැණි රස අධික ආහාර, ඇඹුල් රස අධික ආහාර, ලුණු රස අධික ආහාර මෙන්ම තෙල් අධික ආහාර ද සිසිල් බවින් අධික ආහාර ද දිනපතා අසීමාන්තිකව ගැනීම ය.ධාන්‍ය වර්ග ආහාරයට ගනිද්දී අලුත් ධාන්‍ය නොව පැරණි වූ ධාන්‍ය ආහාරයට ගැනීමට හුරු විය යුතු ය. අලුත නෙළා ගත් ධාන්‍ය මධුර රසයෙන් යුක්‌ත වන බැවින් දිගින් දිගටම ආහාරයට ගැනීම ප්‍රමේහයට හේතු වේ. පස්‌ගෝරස මෙන්ම තෙත් සහිත ප්‍රදේශයන්හි වෙසෙන සතුන්ගේ මාංශ නිතර ආහාරයට ගැනීම එළකිරි, මීකිරි අධි මාත්‍රාවෙන් ගැනීම, උක්‌ හකුරුවලින් සකස්‌ කළ ආහාර මෙන්ම පිටි සහිත ආහාර ද අහිතකර ය.ව්‍යායාම නොකිරීම, දහවල් නිදීම (මහලු අයට සහ කුඩා දරුවන්ට මෙය බලනොපායි.) අලසකම දවසේ වැඩි කාලයක්‌ සැප ආසනයන්හි හිඳගෙන සිටීම ද ප්‍රමේහයට හේතු කාරක වේ.ශාරීරික රෝග මනසට ද මානසික රෝග ශරීරයට ද බලපෑම් කරයි.

මානසික ආතතිය, යම් සිතිවිල්ලක දිගින් දිගටම එල්බ සිටීම වැනි හේතු ද දියවැඩියා රෝගය ඇතිවීමට උපකාරි වේ. නිතර නිතර තරහා යැම, නිතර ශෝක වීම, බයෙන් සිටීම සිත්තැවුල් ආදියට ගොදුරු වීම මෙම රෝගී තත්ත්වය ඇතිවීමට බලපාන මානසික හේතුන් ය.ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී මෙම රෝග ලක්‌ෂණ රෝගී තත්ත්වයට ප්‍රතිකාර කරන ආකාර දෙකක්‌ වේ. එනම් ස්‌ථූල බලවත් ශරීර ඇත්තන් හට අවශ්‍ය පරිදි ආහාර පාලනය කරමින් ප්‍රතිකාර කරන අතර කෘෂ සිහින් සිරුරක්‌ ඇති දුර්වල අයට අගුණ නොවන පෝෂණීය ආහාර දෙමින් ද ප්‍රතිකාර සිදු කෙරේ. ඉන්සියුලින් මත යැපෙන රෝගීන්ට දේශීය වෛද්‍ය ක්‍රමයෙන් ප්‍රතිකාර ලබාගත හැකි ය.

මෙම රෝගී තත්ත්වය හේතු කොටගෙන මිනිස්‌ සිරුරේ සෑම ඉන්ද්‍රියකම මළ රැස්‌ වේ. මේ හේතුවෙන් දියවැඩියා රෝගීන්ගේ සිරුරින් අප්‍රසන්න දුර්ගන්ධයක්‌ පිට වේ. මේ රෝගී තත්ත්වයේදී ඉක්‌මනින් හිස කෙස්‌ පැසේ. දන්ත මළ, කර්ණ මළ, අක්‌ෂි මළ වැඩේ. ඔවුන්ට අධික ලෙස දහදිය දැමීම ද සිදු වේ. වෙනත් රෝගී තත්ත්වයක්‌ නොමැති නම් දිනපතා නා පිරිසිදුව සිටීම අත්‍යවශ්‍ය ය. මෙම රෝගී තත්ත්වයේදී ශරීරයේ ශක්‌තිය අඩුවීම, හතිය, ඉක්‌මනින් නිය කෙස්‌ හැලීම, ශරීරයේ මාංශ බුරුල් වීම, සීතලට කැමැති වීම දක්‌නට ලැබෙන ලක්‌ෂණයන්ය. ඊට අමතරව මෙම රෝගීන් අතර පීනස, මුත්‍රා අධික ලෙස පිටවීම, පෙනීමේ දුර්වලතා, විකෘති සන්නිවේදනය, ඉක්‌මනින් වෙහෙස දැනීම, ලේ වල සහ මුත්‍රාවල පවත්නා සීනි ප්‍රමාණය ඉහළ යැම දක්‌නට ලැබේ.

මුත්‍රා කහට පැහැ වීම, රළු වීම, පෙණ ගතියෙන් යුතු වීම විශේෂ ලක්‌ෂණ වේ. මෙම අවස්‌ථාවේදී ඉක්‌මනින් ප්‍රතිකාර සඳහා යොමු වීම අත්‍යවශ්‍ය රෝග ලක්‌ෂණ නොසලකා හැරීම උපද්‍රව ඇති කරයි.දියවැඩියා රෝගී තත්ත්වයේ උපද්‍රව ලෙස අක්‌ෂි රෝග ඇති වේ. මෙම රෝගය ඇසට කරනු ලබන හානිය ප්‍රබල ය. ඉන් පෙනීමේ දුර්වලතා ඇති වේ. වකුගඩුවල ක්‍රියාකාරීත්වයට හිතකර නොවන දියවැඩියා රෝගය ඒවා ක්‍රමයෙන් අකර්මණ්‍ය කරයි. වකුගඩුවල කාර්යය නිසි ලෙස සිදු කිරීමට වකුගඩු රෝගියාගේ වකුගඩු සමත් නොවේ.

පාද හිරිවැටීම හේතුවෙන් දෙපා ගල් මුල් මේස පුටු ආදියෙහි වැදී නොදැනීම හේතුවෙන් එම අවස්‌ථාවන්හි ඇතිවන තුවාල කෙරෙහි අවධානය යොමු නොවීමෙන් තුවාල උත්සන්න වේ. දියවැඩියා රෝගීන්ගේ තුවාල සුවවීමේ කාර්යය ස්‌වභාවයෙන්ම ප්‍රමාද බැවින් දෙපා තුවාල කර ගැනීමෙන් වැළකී සිටීම වැදගත් වේ. මතකය අඩුවීම ද මෙම රෝගයෙන් ඇතිවන පීඩාකාරී උපද්‍රවයකි. ස්‌නායු විකෘතිතා ඇතිවීම දියවැඩියාවේ ම උපද්‍රවයක්‌ වේ. මේ හේතුවෙන් ආහාර මාර්ගයේ විකෘතිතා ද ඇති වේ. අධික ලෙස උගුරට පැමිණෙන අම්ල ගතිය බහුලව දැකිය හැකි අතර ආහාර නිසි ලෙස නොදිරවීම, ආහාර අරුචිය, මළබද්ධය හෙවත් මළ නිසි ලෙස ඝන නොවීම, ආහාර මාර්ගයේ ඇතිවන විකෘතිතා ලෙස හඳුනා ගත හැකි ලක්‌ෂණ වේ. අස්‌ථි හා මාංශ පේශීවල විකෘතිතා ඇතිවන අතර ශරීරයේ මාංශ පේශී ලිහිල් වීම, සන්ධි ඇදවීම, අස්‌ථි දිරාපත් වීම, අස්‌ථි ඇදවීම එහි ලක්‌ෂණ වේ. ලිංගය හා මුත්‍රාශය ආශ්‍රිතව ඇතිවන ඉඳිකටුවලින් අනින්නාක්‌ බඳු වේදනාව, නින්ද වැඩිවීම, වමනය මෙම රෝගයේ ලක්‌ෂණ වේ. ආහාර ගත් සැණින් නින්දට යැම කිසිසේත්ම යෝග්‍ය නොවේ.

ඉහත රෝගී තත්ත්වය හේතුවෙන් පිරිමි පාර්ශ්වයට පැමිණෙන පුරුෂ ලිංගය මුණ්‌ඩය ආශ්‍රිත පැලීම් හෝ පිපිරීම් සහ ප්‍රාණවත් නොවීම හා බෙලහිනතාවය ද ඇති වේ.

Leave a comment

Comments