ගැබිනි මාතාවන්ට ගුණ දෙන අංගුලිමාල පිරිත ගැන නොදන්නා විශ්මිත රහස් මෙන්න

“පරිත්තං යං හණන්තස්ස”

ලෙසින් පිරිත් පොතේ ආරම්භ වන අංගුලිමාල තෙරුන් අරබයා බුදුරදුන් දේශනා කර ඇති අංගුලිමාල පිරිත කල්පස්ථායි සෙත් පිරිතකි.

විශේෂයෙන් ගැබිනි මාතාවන්ගේ දරු ප්‍රසූතිය පහසු කිරීම සඳහා මේ පිරිතෙන් පැන්, පිරිත් කර යටි බඩේ ගෑමටත්, බීමටත් දෙයි. නූල් පිරිත් කර අත හෝ කර බඳියි. මෙය සත්‍ය ක්‍රියාවකි.

මේ පිරිත සමඟ අංගුලිමාල දැහැන ද සිංහල පාරම්පරික වෙදකමට එක්කර ගෙන තිබේ.

දරු ප්‍රසූතිය පහසු කරවීම සඳහා මේ පිරිත උපයෝගී කර ගැනීම පමණක් නොව තවත් බොහෝ අවස්ථාවල රෝගීන් වෙනුවෙන් ජීවිතයේ විවිධ අවස්ථාවල උපයෝගී කර ගත හැකි බව පුරාණ සෙත් පිරිත් පොත පෙන්වා දෙයි.

අංගුලිමාල පිරිත සමඟ අංගුලිමාල දැහැන ද ඒ වෙනුවෙන් එක්කර ගත යුතු වන්නේ ය.

“ඕං ආං භ්‍රීං භ්‍රීං රිශ්වරවාවඃ
නව නාථ භෛරවඃ

ලෙස දැහැන ආරම්භ වෙයි. මෙමගින් කළ හැකි ශාන්තිකර්ම බොහෝ ය.

ප්‍රසූතියට අපහසු මව්වරුන්ට තැඹිලි මතුරා බීමට දීම, ගෙඩි හටගත්විට පැඟිරි හෝ දෙහි අත්තට මැතිරීමෙන් එය දිය කළ හැක.

බෙල්ලෙන් උඩ ගෙඩියක් හටගත්විට හුණු මතුරා ගෑම, හිසේ කැක්කුමට තලතෙල් මතුරා ගෑම, උදරයේ වේදනාවට අත තබා මැතිරීමෙනුත් රෝග නිවාරණය කර ගත හැකි බව සඳහන් ය.

ඈලියාව නම් රෝගයට දෙහි ඇඹුල් මතුරා ගැල්වීමත් ඉනා බෙහෙත් කැවුණුවිටත් වස විස කැවුණු අයටත් සුදු හඳුන් ගලගා තැඹිලි ගෙඩියකට දමා අංගුලිමාල දැහැනෙන් දින තුනක් උදය වරුවේ බීමට දෙන්න. සියලු අනවිණ ‍බන්ධන, කැවීම්, ආදියට මෙයින් දෙහි කැපීම ද සුදුසු ය.

පිරිත සමඟ දැහැන භාවිතය මෙන්ම මෙමඟින් සැකසෙන යන්ත්‍රය පැළඳීම සර්වාරක්ෂකයෙක් වෙයි.

බුද්ධ දේශිත පිරිත් අතර මෙමගින් ලැබෙන සෙත ශාන්තිය මෙන්ම වේදනා‍වන්ට ලබාදෙන සුවය අනෙකුත් පිරිත්වලට වඩා වැඩිය.

මෙමගින් සැකසී ඇති දැහැන හා යන්ත්‍ර මහායාන ආභාෂයෙන් හා බලපෑමෙන් වූවක් බවට විශ්වාස කෙරේ. එසේ වුව ද ශාන්ති කර්ම ලෙස ගත් කළ මෙයින් දෛනික ජීවිතයේ දී මිනිසාට ලබාගත හැකි පල ප්‍රයෝජන අධික ය. ලෞකික ජීවිතයේ දී විවිධ කරදර බාධකවලට මුහුණපාන අය එයින් මිදීමට බොහෝදේ වෙත යොමු වේ.

බෞද්ධයන් මේ සිදුවන කරදර බාධක සියල්ල පෙර කර්මය අනුව වන බව විශ්වාස කරති.

බෞද්ධ අබෞද්ධ කාහටත් අංගුලිමාල පිරිත හා දැහැන මෙන්ම යන්ත්‍රය කරදරවලින් සහනයක් ලබන්නට උදව්කර ගත හැකි බව සිතතබා ගන්න.

නිසි පිළිවෙතින් දේශක ශ්‍රාවක රෝගී සියලු දෙනා කටයුතු කරත් නම් මෙයින් ලබාගත හැකි ආනිසංසය ද ප්‍රබල වෙයි. ඒ සඳහා නිසි පිළිවෙතින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙයි.

සියලු දෙනාට මෙත් වඩා මස් මාංශයෙන් තොරව පිරිසිදුව තෙරුවන් නමැද ශීලයේ පිහිටා පිරිත ‍උදේ සවස කීම එදිනෙදා ජීවිතයේ දී ඇතිවන උපද්‍රව ද සමනය කරනු ඇත.

යන්ත්‍රය සකසා ගැනීමට ඒ පිළිබඳ නිසි අව‍බෝධයක් ඇති අයෙකුගේ උපදෙස් ලබාගත යුතු බව ද සිත තබා ගන්න. දැහැන පාවිච්චිය ද එසේම ය.

Leave a comment

Comments