පෘතුගීසීන් මෙරටින් රැගෙන ගිය තොටගමුවේ ශ්‍රී රාහුල හිමිගේ ​දේහය තියෙන තැන මෙන්න..

0

කෝට්ටේ යුගයේ රජකළ හයවන පරාක්‍රමබාහු රජු විසින් තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් දරු තනතුරේලා හදා වඩාගත් බව උන්වහන්සේ විසින්ම රචිත පංචිකා ප්‍රදීපය නමැති කෘතියේ දැක්වේ. රාහුල හිමියන්ගේ ජීවන සෙවණැල්ල වූයේ පරාක්‍රමබාහු රජු බව හෙළ සාහිත්‍යයේ බොහෝ තැන්වල සඳහන්ය.

තොටගමුවේ රාහුල හිමියන් ලෙසින් බො​හෝදෙනා හැඳින්වුවද උන්වහන්සේගේ උපන් ගම තොටගමුව නොවේ. එය දෙමටාන නම් වූ දඹදෙණියට සමීපව පිහිටි ග්‍රාමයකි. ඒ බව සනාථ වන්නේ කාව්‍යශේඛරයේ එන ආරම්භක පද්‍යවලිනි.

සැලළිහිණි සන්දේශය ශ්‍රී රාහුල හිමියන් විසින් රචනා කරන ලද්දේ හය වැනි පරාක්‍රමබාහු රජුගේ බාල දියණිය වූ උලකුඩය දේවියට හොඳ පුත් රුවනක් ලබාදෙන ලෙස ඇගේ සැමියා වූ නන්නුරුතුනෙයියාර් විසින් විභීෂණ දෙවියන්ට ආයාචනය කරන පරිදිය.

පරාක්‍රමබාහු රජු සමයේ සංඝරාජ ධුරයට පත්වූ රාහුල හිමියන් කෝට්ටේ රාජ්‍ය පාලනය කෙරෙහි කලකිරුණේ සපුමල් කුමාරයා හය වැනි බුවනෙකබාහු නමින් රාජ්‍යත්වයට පත්වීමත් සමගය.

හය වැනි පරාක්‍රමබාහු රජතුමාගේ මරණයෙන් පසුව රාජ්‍යත්වයට පත්වූ රජුගේ මුණුපුරු දෙවැනි ජයබාහු රජතුමා ඝාතනය කරමින් සපුමල් කුමාරයා රජකම ගැනීම පිණිස කළ ක්‍රියාව අනුමත නොකර ඒ ගැන මහත්සේ කලකිරුණු ශ්‍රී රාහුල හිමියන් පසුව ආරණ්‍යගතව සිට ගාල්ල ඇල්පිටිය ප්‍රදේශයේ ඉඳුරු ගිරි ලෙනක වාසය කරද්දී සිද්ධාලේප රසායනය පානය කිරීමෙන් පසුව සිය දිවි හානි කරගත් බව සඳහන්ය.

එම ඖෂධය පානය කිරීම නිසා තම සිරුර මරණයෙන් පසුව දින දස ලක්ෂයක් ප්‍රකෘති තත්ත්වයෙන් තබාගත හැකි බව රාහුල හිමියන් විසින් දේශනා කළ බව ජනප්‍රවාදයේ පවතී.

ගාල්ල – ඇල්පිටිය පිටුවල ප්‍රදේශයේ අම්බන නමැති ග්‍රාමයේ පිහිටි ඉඳුරුගිරි ලෙනේ තිබූ උන්වහන්සේගේ දේහය පෘතුගීසීන්ට හමුවිය. ඔවුහු සිතුවේ එය පෘතුගීසි දේවගැති ප්‍රැන්සිස් ක්ෂේවියර්තුමාගේ මළ සිරුර බවය. එම මළසිරුර පෘතුගීසීහු මෙරටින් රැගෙන ගියහ.

ශ්‍රී රාහුල හිමියන්ගේ මෙම දේහය පෘතුගීසීන් විසින් රැගෙන ගොස් තැන්පත් කළේ මැලේසියාවේ මලක්කා ප්‍රදේශයේ පිහිටි ආසියාවේ පිහිටි පැරණිතම කතෝලික පල්ලිය ලෙස සැලකෙන ශාන්ත පෝල්හි බවට විශ්වාසයක් පවතී. එම පල්ලිය ඉදිකර ඇත්තේ 1521 දීය. එම පල්ලිය ඉදිරිපිට සවිකර ඇති පුවරුවේ සඳහන්වන්නේ ප්‍රැන්සිස් ක්ෂේවියර් පියතුමාගේ සිරුර එහි තැන්පත් කර ඇති බවය.

එම සිරුර ඉන්දියාවේ ගෝවේ සිට රැගෙන ආ බවත්, 1548 දී සිරුර පල්ලියේ ප්‍රධාන ශාලාවේ අභ්‍යන්තරයේ තැන්පත් කර ඇති බවද එහි සඳහන්ය. අදටත් එම සිරුරේ නියපොතු හා කෙස් වැවෙන බව විශ්වාසයක් පවතී.

සිරුර තැන්පත් කර ඇති බවට සැලකෙන පල්ලියේ ප්‍රධාන ශාලාවේ බිම්කඩ සැකසී ඇත්තේ උමං මාර්ගයක් සේය. දේහය තැන්පත් කර ඇති උමං මාර්ගයට පිවිසිය හැකි මාර්ගයක්ද පිහිටා ඇති අතර ඒ පෙදෙසට ඇතුළුවීමට කිසිවෙකුටත් අවසර නැත. දේහය ඇති බවට සැලකෙන ස්ථානය ආරක්ෂා කර ආරක්ෂිත දැල් සවිකර ඇති අතර ඒ අභ්‍යන්තරයට මල් හා මුදල් දමමින් එහි පැමිණෙන බොහෝදෙනා ගෞරවය දක්වති.

මෙම පල්ලිය පිහිටා ඇත්තේ මලක්කා නගරයේ පිහිටි උසම ස්ථානයේය. පල්ලිය පිහිටි භූමියට මලක්කා නගරය හොඳින් දර්ශනය වේ. හරිත නගරයක්සේ ප්‍රකට මලක්කා නගරය 2008 වසරේදී යුනෙස්කෝ සංවිධානය විසින් නම් කළ ලොව හොඳම හරිත නගරයද වේ. මලක්කා සමුද්‍ර සන්ධිය නගරයට ඉතා සමීපව පිහිටා තිබීම නිසා මුහුදු මාර්ගයේ ගමන් බිමන්වල කේන්ද්‍රස්ථානයක් සේ මලක්කාව සැළකෙයි.

වර්ෂ 1810 – 1811 කාලවලදී බ්‍රිතාන්‍ය පාලකයින්ද මෙම පල්ලිය ආරක්ෂා කරමින් තම පාලන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගියහ. 1521 දී මෙම කතෝලික පල්ලිය පෘතුගීසි ජාතික කැප්ටන්වරයකු වූ ඩර්ට් කොයෙල්හෝ විසින් ආරම්භ කර තිබෙන බව එහි සඳහන්ය.

පේදිරි ප්‍රැන්සිස් ක්ෂේවියර් නම් පෘතුගීසි ජාතික දේවගැතිවරයකු වූ එම ආගමික නායකයා ගාල්ල ප්‍රදේශයේ සිට අතුරුදන්ව සිටියේය. පෘතුගීසිහු ඔහු සොයා මෙහෙයුමක් දියත් කළහ. ඇල්පිටිය ප්‍රදේශයේ වනගත ප්‍රදේශයේදී පෘතුගීසීන්ට හමුවන තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ දේහය තම ආගමික නායකයාගේ දේහය බව පෘතුගීසිහු විශ්වාස කළහ.

මියගොස් දිගුකාලයක් ගියත් සිරුර නරක් නොවීම පිළිබඳව පෘතුගීසිහු මවිත වූහ. තම ආගමික නායකයාගේ අනුහස් බලයෙන් එසේ සිදුවන්නට ඇති බවට විශ්වාස කළ පෘතුගීසිහු රාහුල හිමියන්ගේ දේහය පළමුව ගෝවටත්, එතැනින් මලයාසියාවටත් රැගෙන ගිය බව කියැවේ. ඒ වනවිට මැලේසියාවත් සිංගප්පූරුවට අයත් භූමියකි.

බ්‍රිතාන්‍යයෝ 1819දී සිංගප්පූරුවේ වෙළෙඳ මධ්‍යස්ථානයක් විවෘත කළ අතර, පසුව රාජ්‍යයේ අභ්‍යන්තරය ආක්‍රමණය කොට ජයගත්හ. ප්‍රධාන වශයෙන් මැලේ, චීන, දෙමළ සහ මුස්ලිම්වරුන් ජනාවාස කර ඇති මලයාසියාවේ ටින් සහ රබර් සුලභ විය. එහි අගනුවර වූ සිංගප්පූරුව බ්‍රිතාන්‍යයන්ට අතිශය වැදගත් මධ්‍යස්ථානයක් විය. බ්‍රිතාන්‍යයෝ සිය බලය උතුරු බෝර්නියෝ, බෲනෙයි වැනි ප්‍රදේශවලට ව්‍යාප්ත කළහ.

ඒ අතුරින් බෝර්නියෝ සහ සරවක්, ප්‍රදේශ මලයාව සමඟ එකතු වීමෙන් වර්තමාන මැලේසියාව සැකසී තිබේ. දෙවැනි ලෝක යුද්ධයේදී ජපානයේ හමුදාව මෙම ප්‍රදේශ යටත් කරගැනීමට සමත්වූ නමුත් එම යුද්ධයේ අවසාන කාලයේදී යළි ඒ ප්‍රදේශ දිනාගැනීමට බ්‍රිතාන්‍යයෝ සමත් වූහ.

1946දී මලයාව හා සිංගප්පූරුව වෙන්කොට ඒවාට එක්තරා ප්‍රමාණයකට ස්වයං පාලන බලතල ලබාදෙනු ලැබිණ. ඒ අතර තුන්කු අබ්දුල් රහ්මාන් විසින් මෙහෙයවන ලද පක්ෂයක් නිදහස් මලයාවේ මැතිවරණය ජයගත්තේය. 1957දී ඔහු එරට අගමැති තනතුරට පත්වී සිංගප්පූරුවටද අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දුන්නේය. ඒ යටතේ පැවැති මැතිවරණයෙන් මහජන ක්‍රියාකාරී පක්ෂයේ නායක ලී ක්වාන් යූ අගමැති තනතුරට පත්විය.

දොම්පේ – අජිත් මදුරප්පෙරුම
මැලේසියානු සංචාරයකින් පසු…

Leave a comment

Comments